hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:38



“ඇමරිකාවේ තානාපතිතුමියයි තව කවුද එක්කෙනෙකුයි ඇවිල්ලා. කවුපි ගෙනාවනම් දෙන්න එපැයි ඒ පැකට් එක. මේක නිකං පීචංම්ම කරන්න. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා මෙහෙම අල්ලන් ඉන්නවා හිඟන්නා වගේ. අර දෙන්නා මෙහෙම හලනවා. අයියෝ සංසාරේ කියලා හිතුනා. ” යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එයට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුමේදී ‌කියා සිටියේ හිඟා කාල හරි පාසල්  දරුවන්ට ආහාර වේලක් ලබාදීමට හැකිනම් තමා එය කරන බවයි.

ඇමෙරිකාවෙන් ආහාර තොගයක් ආධාරයක් ලෙස ලබාගැනිම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී මතුවූ කරුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවසුවා.

තමා කළු සූට් ඇන්දේ 1985ට පෙර සිට බවත් ඔහු සඳහන් කළා.

තමන් උසාවියේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විට ඇතැම් පුද්ගලයන් විත්ති කූඩුවේ සිටි බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තමා අමාත්‍යධුරයට පත්වූ විට තමන් මුලින්ම කල්පනා කළේ පාසල් ළමුන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඇමැතිවරයා එහිදී මෙසේද සඳහන් කළා,

ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබාදුන්න ආහාර තොගයක් සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ පෙරේදා කතා කරලා තිබුණා.ඒක  මාධ්‍යවලත් ගිහින් තිබුණා.දැන් විතරක් නෙවෙයි අපි පාසල් යන කාලෙත් පීඑල් 480  යටතේ ඇමරිකාවෙන් ලැබුණු පිටි වලින් බිස්කට් හදලා දුන්නා. ලෝකයේ බොහෝ රටවල් ඒ ඒ රටවල ප්‍රතිපත්ති එක්ක අනිත් රටවල්වලට උදව් කරනවා. පසුගිය කාල සීමාව තුළ රටේ ඇති වුණ තත්වයත් එක්ක අපි කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනයේ වෛද්‍යවරුන්  ළමා මන්දපෝෂණය ගැන කතා කරනවා. දරුවන්  පාසල්වලට එනකොට හරි පෝෂණයක් නැත්නම් ඒක ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ කිව්වෙත් ධර්ම දේශනා කරන්න කලින් ආහාර වේල දීල ඉන්න කියලයි. මම මේ අමාත්‍යාංශය බාරගෙන මාස දෙකයි. ආපු දා ඉඳලා කල්පනා කළේ දරුවන්ට ආහාර වේලක් ලබා දෙන්නේ කොහොමද කියන එකයි . ප්‍රාථමික අංශයේ දරුවන්  ඉන්නවා දහසය ලක්ෂයක් . තෝරාගත් ප්‍රදේශවල දරුවන් ලක්ෂ 11කට පෝෂණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා . එය තව ශක්තිමත් කරන්න ඕන. ඒ නිසා ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිවරිය එක්ක, සේව්ද චිල්රන්ඩ් එක, යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධානය සමඟ මම කතා කළා.

අපේ රටේ තිබෙන ආර්ථික තත්වය මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම දන්නවා. අපිට යම් ආකාරයක ආධාරයක් ලැබෙනව නම් එය ලබා ගැනීමයි අපේ යුතුකම. එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්  තමයි ටොන් 3000ක සැමන්, කහ, පරිප්පු ලබාදුන්නේ. සේව්ද චිල්රන්ඩ් එක තමයි සුපරික්ෂණය කරන්නේ. මේකට වෙන කණ්ඩායම් යොදවලා උයලා පිහලා දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් යනවා. ඒක බාරගන්න තමයි මම ගියේ. මම කළු සූට්එක ඇදලා උසාවියට ගිහින් විත්තිය වෙනුවෙන් පෙනී සිටින කොට සමහරුන්  විත්ති කූඩුවේ හිටියා. ඒ අයට අමතකයි අපි කළු සූට් ඇඳුපු අය කියලා. එහෙම නැතුව නිකම් පම්පෝරි ගහන්නේ නැතුව වැඩ කරන්න කියලා ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: