hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:39



ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සකස් වී ඇති ආකාරය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු වගකීම සුළු පටු නොවේ. එය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ( දිසාපති ) සිට ග්‍රාම නිලධාරීතුමා දක්වා පහළට ගළා එන්නෙ ජනතාවගේ බොහෝ පරිපාලන කාර්යන් සමග සෘජු බැදීමක් ඇතිකරවමිනි. පරිපාලන කාර්යන්ට අමතරව රජයේ බොහෝ ව්‍යාපෘති, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික වෙමින් ක්‍රියාත්මක වෙයි.

එවන් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා දක්ෂ, අවංක, අත්දැකීම් බහුල, කඩිසර නිළධාරීන් පිරිසක් සිටීම ඉතාම වැදගත් වේ. නමුත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධව කටයුතු සොයා බැලීමේදී ලැබූ අත්දැකීම් ඉතා නීරස බව නොකියාම බැරි ය.

කෙටියෙන් ම කියතොත් 2021 වර්ෂයේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට විගණකාධිපතිවරයා විසින් කළ යුතු යැයි නිර්දේශ කරන ලද ඇතැම් නිර්දේශ පවා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මේ වන විටත් ඉටුකර නොමැත.ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු වත්කම් තක්සේරු කර ගිණුම් ගත කිරීම ඉන් එකකි.

ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා ඇති ඉඩම් පිළිබඳ තක්සේරු කර වාර්තා කිරීම තවත් එවැන්නකි. රාජ්‍ය ආයතනවල සිදුවිය හැකි වංචා හා දූෂණ වැළැක්වීමට ගණකාධිකාරි දෙපාර්තමේන්තුවෙන් සිදුවන කාර්යභාරය මෙසේ නොසලකා හැරීම මේ රට තවත් අගාධයට ඇද දැමීමට අත වැනීමක් බව මෙරට නිලධාරීන් වටහා නොගැනීම කනගාටුවට කරුණකි.

කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පියදිගම ශිෂ්‍ය බලඇණිය ගොඩනැගිල්ල හා මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මෙසේ තක්සේරු කොට ගිණුම් ගත නොකළ ගොඩනැගිලි වේ. එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පවරා දී තිබූ වසා දමන ලද පාසැල් 78 ක ඉඩම් අක්කර එකසිය හතක් හා ඒවායේ පිහිටි ගොඩනැගිලි 125ක් ද මෙසේ තක්සේරු කර ගිණුම් ගත නොකරන ලද දේපොළවලට අයත් වේ.

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් 2019 දෙසැම්බර් 10 වන දින සිට දකුණු පළාත්  මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් විය.ඔහුට සමෘද්ධි සංවර්ධන නිලධාරියකු හා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස වැටුප් දෙකක් ලබාගැනීමට අයිතිවාසිකමක් නොමැත එහෙත් ආයතන සංග්‍රහයේ XXX පරිච්ඡේදයේ 1 (3) වගන්තියට අනුව ලේකම්වරයාගේ අනුමැතිය කල් ඇතිව ලබා ගැනීමකින් තොරව 2019 දෙසැම්බර් සිට 2021 අප්‍රේල් දක්වා ඔහු මෙම දීමනා දෙකම ලබාගෙන තිබේ.

එම කාලසීමාව තුළ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු ලෙස ඔහු ලබා ගත් වැටුප රුපියල් 612,692 වේ.මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ඔහු එම කාලපරිච්ඡේදය ට අදාලව රුපියල් 1,165,625 ක දීමනා ලබාගෙන තිබේ. දේශපාලන අතපෙවීම් මත නිළධාරීන් ද මේ සම්බන්ධව අසරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත.

කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2006 වර්ෂයේ සිදුව තිබූ චෙක්පත් වංචාවක් හේතුවෙන් මේ දක්වාම  දිගින් දිගටම නොපියවූ ශේෂය ඉදිරියට ගෙන එමින් පවතී.2022 දෙසැම්බර් 31 දිනට එහි වටිනාකම රුපියල් 115,536කි.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉකුත් වර්ෂය තුළ ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් මසක් වයසැති ගම් කිකිළි පැටවුන් 1822 බෙදා දීමට සැලසුම් කර තිබුණි.එම සැපයීම් සඳහා ගෙවීම් කිරීමට රුපියල් 865,450 ක මුදලක් සඳහා 2022 අගෝස්තු 30 චෙක්පත් පිළියෙල කර තිබුණි.

එහෙත් ලබාදුන් කිකිළි පැටවකු නොවූයෙන් එම චෙක් පත එතැන් සිට මාස හතක් තිස්සේ ලාච්චුවල වේලෙමින් තිබුණි. මුදල් රෙගුලාසි 137( 5 ) ප්‍රකාරව සැපයුම් සම්බන්ධව ගෙවීම් කිරීමේදී එම ගෙවීම් අනුමත කළ යුත්තේ එම සැපයුම් පරීක්ෂාකොට නිවැරදි ලෙස බාරගෙන ඇති බව සහතික කිරීමෙන් පසුව පමණකි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 ට අදාලව රුපියල් 239,462,961 වටිනා තැන්පතු කල් ඉකුත් වී තිබේ එහෙත් මුදල් රෙගුලාසි 571 ප්‍රකාරව ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසමත්ව තිබේ. 

2019 දෙසැම්බර් 31 වන දින චමිලා සෝමරත්න පදනම විසින් මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකිරීම සඳහා රුපියල් 10,000,000 ක මුදලක් ලබා දෙන ලදී එහෙත් මේ වනවිටත් එම මුදල් අදාළ ඉදිකිරීම් සඳහා යොදා ගෙන නොමැත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසිදෙකක් මගින් ක්‍රියාත්මක කරන ලද ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියෙන් යෝජනා වූ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 7450 ක් හා පළාත් පාලන කොට්ඨාස සංවර්ධන ව්‍යාපෘති 2895 ඉටුකර නොමැත.ඉටු නොකරන ලද ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ගණන 2633 කි.

2019 වර්ෂයේ දී ආසන දෙදහක ශ්‍රවණාගාරයක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.ඒ සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය රුපියල් 3,154,877,678 කි.  2023 මාර්තු මැද වනවිට ව්‍යාපෘති උපදේශක විසින් නිර්දේශිත මුළු බිල්පත් වටිනාකම ඉන් 30% විය. මාර්තු අග වන විටත් එහි භෞතික ප්‍රගතිය 15% කටත් අඩු මට්ටමක විය. 2023 මාර්තු 24 වන විට රුපියල් 195,170,420 ක් ගෙවීම් කර තිබුණි.කොන්ත්‍රාත්කරු ට ලබා දී ලබාදී තිබු අත්තිකාරම වටිනාකම රුපියල් 426,330,247 ක් විය.

අපේක්ෂිත කාර්යසාධනය නොමැති වුවද එම අත්තිකාරම් මුදල් ආපසු අයකරගැනීමට ලේකම් කාර්‍යාලයට අවශ්‍යතාවයක් වූ බවක් දැකිය නොහැකි විය. 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට මෙම ව්‍යාපෘතියේ කටයුතු නවතා දමා ඇත.අත්තිකාරම් බැඳුම්කර මෙන්ම රක්ෂණාවරණයන්ද ඒ වනවිට කල් ඉකුත් වී තිබුණි. මේ තත්ත්වය යටතේ අය කර නොගත් අත්තිකාරම්  තවදුරටත් අයකර ගැනීමේ අවදානමක් පවතී.

ඉමදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  විසින් රුපියල් 19,227,840ක් වටිනා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් අවස්ථා 11ක දීම කිසිදු  ගිවිසුමකට එළඹ නොතිබුණි. දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට අයත් වටිනාකම රුපියල් 1, 000,000 වූ කැබ් රථයක් ප්‍රයෝජනයට නොගෙන දිරාපත්වෙමින් පවතී එය 2020 2001 මාර්තු 10 සිට 2022 ජුලි  20 දක්වා කාර්යාලයේ ගරාජය තුළද තුළ ද ඉන්පසු බටගන්විල සංචාරක බංගලා පරිශ්‍රය තුළද මුල් ඇද තිබේ.

2004 දෙසැම්බර් 26 දින සිදු වූ  සුනාමි ව්‍යසනයෙන් දශක දෙකක් සම්පූර්ණ වීමට ආසන්න ය. අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සුනාමියෙන් අවතැන් වූ නිවාස ලාභීන් 319ක් ඔප්පු ලබා දීමට සුදුසු යැයි හඳුනාගෙන තිබුණි.එහෙත් 2022 වසර අවසන් වන විටත් ඉන් ඔප්පු ලබාදී තිබුණේ පුද්ගලයින් 105කට පමණි.

රාජ්‍ය දේපල නිස්කාරණයේ විනාශ කර දැමීමෙන් හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා නොගැනීමෙන් මේ රටේ තව තවත් වලපල්ලට ඇද දමා අසරණ ජනතාවගේ කර මතට පැටවෙන බදු බර වැඩි කරන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් වැනි රාජ්‍ය නිලධාරීන් රටට සාපයකි.

හික්කඩුව – බුද්ධික වීරසිංහ