hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 2:02



පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසුව සභාව නොපැවැත්වීම හේතුවෙන් බදුල්ල මහ නගර සභාවට රුපියල් තිස් දෙලක්ෂ හත්දහස් පන්සිය දහතුනයි ශත දාහතක (3,207,513.17) මුදලක් ඉතිරිව ඇති බැව් තොරතුරු දැන ගැනීමේ පනතට අනුව බදුල්ල මහ නගර සභාව නිකුත් කරන ලද ලිපියෙන් අනාවරණය වෙයි.

2023 මාර්තු මස සිට ජූලි මස දක්වා මෙම මුදල් ඉතිරිව තිබෙනවා.

2018 වසරේදී සභාව පිහිටුවා 2022න් අවසන් ‍විය යුතු වුවද එය වසරකින් දීර්ඝ කෙරිණ.

ඒ අනුව එම මාස පහක කාලය තුළදී මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ලෙස රු. 2,259,354.95ක්, දුරකථන දීමනා ලෙසින් 564,758.22ක්, කමිටු දීමනා ලෙසින් රු. 24,000ක්, සභාව සඳහා මාසික වියදම් ලෙස රු. 239,400ක්, භාෂා පරිවර්ථක ගෙවීම් ලෙස 120,000ක් සදහන් වෙනවා.

මෙම මුදලින් රුපියල් හය ලක්ෂ හැට හතර දහස් අටසීය අනූවයි ශත තිස් තුනක් (664,890.33) ගෙවීම් ලෙස සදහන් වන්නේ නගරාධිපතිවරයාගේ වියදම් ය.

“මෙතරම් විශාල මුදලක් මාසිකව වැය වීම 2018 මාර්තු මස සිට සිදුවූවක්. ඊට පෙර බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ සංයුතිය වූයේ 15ක්. යහපාලන සමයේ කාන්තා නියෝජනය සියයට 25ක් කියලා මන්ත්‍රීවරුන් වැඩි කරලා කළේ මහජන මුදල් නිකරුණේ වියදම් කිරීමක්මේ.වා හෙන ගහන අපරාධ.”

2006 කාල වකවානුවේදී බදුල්ල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසූවේ එවැන්නක්.

තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු නිලධාරියා විසින් ලබාදී ඇති තොරතුරුවලට අනුව 2018 වසරේ සිට 2023 දක්වා වසර හයක කාලය තුළදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සදහා රුපියල් 3,702,375.94ක් ඔවුන්ගේ පොදු ගිණුමක් වෙත බැර කර තිබෙනවා.

“මන්ත්‍රීවරුන් 25ක් කියන්නේ ඇත්තටම වැඩක් ඇති දෙයක් නෙවෙයි මේක මේ එයාලට හම්බකරගන්න ගහපු උප්පරවැට්ටියක්. ඒ වගේම තමයි ඉහළ දේශපාලකයාගේ දේශපාලන ගමන ශක්තිමත් කරගන්න කරපු වැඩක් හැටියටයි දකින්නේ. කොහොම උනත් මන්ත්‍රීවරුන් හිටියා නැහැ කියලා වෙනසක් නම් පේන්න නැහැ. නගර සභාව වැ‍ඩ ටික සාමාන්‍ය පරිදි කරගෙන යන බවක් පේනවා.” නගරයේ පුරවැසියෙක් සදහන් කළේ එවැන්නක්.

“පසුගිය මාස 05ක කාලය තුළදී මන්ත්‍රීවරුන් වෙනුවෙන් නගර සභාවෙන් ලක්ෂ 32කට වැඩි මුදලක් වියදම් වී නැහැ. නමුත් සභාවෙන් මන්ත්‍රීවරුන්ට ගෙවන දීමනා නැවත පළාත් පාලන අමාත්‍යංශය හරහා මහ නගර සභාවට පියවෙනවා.” මෙසේ පැවසුවේ නගර සභාවේ හිටපු උසස් නිලධාරියෙක්.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් දැක්වූයේ මෙවැනි අදහසක්.

“නගර සභාවෙන් කරන ගෙවීම් පළාත් පාලන අමාත්‍යංශයෙන් නැවත පියවීමක් වුවත් ඒ මුදලුත් මහජනතාවගේම බදු මුදල් බව අමතක කල යුතු නැහැ. එක සාක්කුවකින් දීලා අනිත් සාක්කුවට දාගත්තා වගේ දෙයක් තමයි ඔය කියන්නේ. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනයක් තිබිය යුතුයි. ඒ තුළිනුයි නීති සම්පාදනය කෙරෙන්නේ. එවිටයි වරිපනම් ඇතුලු විවිධ ගෙවීම් සිදුකරනා මහජනතාවට නිසි පහසුකම් ලැබෙන්නේ. නමුත් මේසා විශාල මන්ත්‍රී කණ්ඩායමක් නඩත්තු කිරීම අපරාධයක් හැටියටයි මම දකින්නේ.”

“සභාව විසුරුවා හැරීමත් එක්ක ගමට හිටිය මන්ත්‍රීතුමා නිකම්ම නිකම් පුද්ගලයෙක් වුණා කියලයි අපිට නම් හිතෙන්නේ. ගමේ වීදි ලාම්පු බොහෝමයක් පත්තු වෙන්නේ නැහැ. ගමේ පාරවල් කළෑවට ගිහිල්ලා. කාණු වතුරෙන් පිරිලා. මදුරු ගහනය වැඩිවෙලා. ඒ තුළින් ඩෙංගු රෝගීන් වැඩි වෙලා වෙනදාට නම් මන්ත්‍රීතුමා මැදිහත්වෙලා මේ දේවල් සභාව දැනුවත් කරලා කරලා දෙනවා. නමුත් අද ඒ තත්වය නැහැ.” ගමේ ජනතාව කියන්නේ එවැන්නක්.

2018 – 2023 කාලය තුළ සභාවේ සිටි මන්ත්‍රීවරයෙක් අදහස් දක්වමින්,

“අපි සභාවේ මන්ත්‍රීවරුන් හැටියට කමිටු හදලා ඒ තුළින් නීති සම්පාදනය කරලා ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරනවා. දැන් සභාව නැහැ. මන්ත්‍රීවරුන් නොමැතිව නිලධාරින්ට නීති සම්පාදනය කරන්න බැහැ. අඩුම තරමින් ටෙන්ඩරයක් පාස් කරන්නත් බැහැ. දැන් නිලධාරින්ට අවශ්‍ය විදිහට වැඩ කරන්න කාලයක් ලැබිලා තියෙනවා. ඒ තුළින් සමහර විට අපිට ගෙවන්නේ නැතිව ඉතිරිවූ මුදල්වලට වඩා වැඩි මුදලක් වියදම් වෙලත් ඇති. මේ ලක්ෂ 32ක් ඉතිරි වෙලා තියෙනවා නම් ඒ තුළින් මහජනතාවට වැඩක් වෙන්න ඕනි. මොනවාද ඒ මුදල් වලට කළේ කියන එකත් මහජනතාව දැනගන්න ඕනි.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු දැනගැනීමේ පනතින් කරුණු ඉල්ලා සිටියත් ලිපිය සකසන තෙක්ම එම තොරතුරු ලබාදීමට බදුල්ල මහ නගර සභාවේ තොරතුරු නිලධාරියාට හැකිව ති‍බුණේ නැහැ.

“1970 දශකයේ ආරම්භවූ බදුල්ල මහ නගර සභාවේ මේ සා විශාල මන්ත්‍රී කණ්ඩායමක් හිටියේ නැහැ. 2018 වසරේදී මුළු ලංකාවේම සියලු පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වුණා. මේ ක්‍රමය තුළ තිබෙන හාස්‍යය දනවන දෙය තමයි, ජනතාවට අවශ්‍ය නගරාධිපතිවරයෙක් තොරා ගැනීමට තියෙන අයිතිය හා කැමැත්ත නොමැති කම. ඡන්දයෙන් පරාද වෙන කෙනා නගරාධිපති වෙනවා. ඉතින් මේ ක්‍රමය ගැළපෙනවාද කියන එකත් ප්‍රශ්නයක්.”ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් දැක්වූයේ එවන් අදහසක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: