hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 29, ප.ව. 3:03



වර්ග කිලෝමීටර් 1,282.5 පුරා පැතිරී ඇති මාතර දිස්ත්‍රික්කය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කින් සහ ග්‍රාම නිළධාරි කොට්ඨාස 650 කින් සමන්විතවේ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මූලිකව අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිළධාරි කොට්ඨාශ ආශ්‍රිත සිදුවී ඇති වංචා දූෂණ සහ නාස්තිය පිළිබඳව අනාවරණය කර ගත් විස්තර ඒ ආකාරයෙන්ම ජනතාව වෙත ඉදිරිපත් කරන්නේ ඒවා ජනතාව සතු මුදල් වන හෙයින් සහ එසේ කිරිම මාධ්‍යයේද ප්‍රබල වගකීමක් වන බැවිනි.

2022 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සදහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මූල්‍ය නොවන වත්කම් පිළිබඳව කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත යවන ලද වාර්තාව හා මූල්‍ය නොවන වත්කම් පිළිබඳව ප්‍රකාශයේ පැවති විවිධ වත්කම් ඒකකයන් අතර රුපියල් 61,442,495 ක වෙනසක් නිරීක්ෂණය වී ඇති අතර එම වෙනසට අමතරව රුපියල් 194,519,038 තවත් වත්කම් ශේෂයන් කොම්ප්ට්‍රෝලර් ජනරාල් වෙත යවා තිබූ වාර්තාවේ ඇතුලත් වුවද මූල්‍ය නොවන වත්කම් පිළිබඳ ප්‍රකාශයේ ඇතුලත් කර නොතිබුණි.

වේගවත් සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීයව ක්‍රියාත්මක කරන්නේ ඒවායින්ද හිතේ හැටියට ගසාකෑමේ අරමුණෙනි. ගම් පෙරළිය වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ( RRDP) 2019 යටතේ වැලිගම මැතිවරණ කොට්ඨාශයේ ආගමික ස්ථාන සඳහා සූර්ය බල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘති යටතේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පූජනීය ස්ථාන 41 ක් හා වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පූජනීය ස්ථාන 34ක් අතුරින් ආගමික ස්ථාන 18 ක සූර්ය කෝෂ මගින් ජනනය වන විදුලි ඒකක ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතුණු අතර අදාළ කොන්ත්‍රාත් ආයතනය විසින් මුදල් ලබාගෙන තිබුණද නිසි පරිදි විදුලිබල මණ්ඩලය වෙත අයදුම්පත් ඉදිරිපත් නොකිරීම හා මුදල් නොගෙවීම මත විදුලි සම්බන්ධතාවය ලබාදී නොතිබුණු ආගමික ස්ථාන ගණන 10ක් විය.

නිසිලෙස විදුලිබල සම්බන්ධතාවය ලබාදුන් ආගමික ස්ථාන වල ප්‍රධානීන් සමග විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කර නොතිබුණි. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තාක්ෂණ නිළධාරී විසින් ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව මගින් නිසි පරිදි ඉටු නොකෙරුණු වැඩ කොටස් හා තව දුරටත් වැඩිදියුණු කලයුතු දේ සඳහන් කර දිස්ත්‍රික් ලේකම් දැනුවත් කර තිබුණද, එම අඩුපාඩු හා වැඩිදියුණු කිරීම කොන්ත්‍රාත්කරුගෙන් ඉටු කරවා ගැනීමකින් තොරව ආයතන 3 ක් වෙත සූර්ය කෝෂ 75ක් සවිකිරීම වෙනුවෙන් බදු රහිතව රුපියල් මිලියන 32 ක් ගෙවා තිබිණි.

නිල්වලා ව්‍යාපෘතියට වෙච්ච දේ

මාතර නිල්වලා සංවර්ධන ව්‍යාපෘතිය 2018-2020 සඳහා අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට 2019 සහ 2020 වර්ෂ සඳහා එකතුව රුපියල් මිලියන 715 ක් ලබාදී තිබුණ්. 2019 ජනවාරි 10 දිනැති අංක MNPEA/PLN/2019 ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්ගේ චක්‍රලේඛය ප්‍රකාරව ව්‍යාපෘති යෝජනා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර අනුමත කරගෙන නොතිබුණි. නමුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි.

නිල්වලා එළිය ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තු වටිනාකමේ එකතුව රුපියල් මිලියන 78.6 විය, ඉදිකිරීම් කර්මාන්ත 09 ට අදාළ එකතු වටිනාකම රුපියල් 3,844,624 ක් වූ කාර්ය සාධන බැදුම්කර 09 ක වලංගු කාල සීමාව ඉකුත් වී මාස 02 ත් මාස 11 ත් දක්වා පරාසයක පැවතියද අදාළ ඉදිකිරීම් කර්මාන්තවල වැඩ අවසන් වී නොමැති අතර කොන්ත්‍රාත් කාලසීමාවද දීර්ඝ කර නොතිබුණි.

2020 මැයි 15 දිනැති අංක DSM/DPS/Nilwala/24/2019 දරන දිස්ත්‍රික් ලේකම් මාතර මගින් ලේකම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අමතා යොමු කර තිබූ ලිපිය මගින් මෙම ව්‍යාපෘතියට අදාළව 2019 දෙසැම්බර් 31 දිනට භෞතික හා මූල්‍ය ප්‍රගතිය ඉදිරිපත් කර තිබුණි. එහිදී භෞතික ප්‍රගතිය සියයට 100 ක් ලෙස පෙන්නුම් කරමින් අතැති බිල් ලෙස කර්මාන්ත 48 ට අදාලව එකතුව රුපියල් මිලියන 400.55 ක් වටිනාකමින් යුත් බිල්පත් පවතින බව සඳහන් කරමින් ඊට අදාළ අක්මුදල් (අතැති මුදල්) ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබුණි. එහෙත් එම අතැති බිල් ලෙස ඉදිරිපත් කර තිබූ රුපියල් මිලියන 329 කට අදාළ කර්මාන්තවල කිසිදු භෞතික ප්‍රගතියක් නොතිබුණි.

විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නෑ

2020 අගෝස්තු 31 වන දින වනවිට ජලනල දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියකට අදාළව ව්‍යාපෘතීන් 09 ක් විය. මේ සඳහා වටිනාකමේ එකතුව රුපියල් මිලියන 35.4 ක් වූ චෙක්පත් 4ක් කළමනාකරු (ක්‍රි.හා.න.)ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මාතර වෙත නිකුත් කර තිබුණි. 2021 මාර්තු වනවිට එකතුව රුපියල් මිලියන 33.8 ක් වූ ව්‍යාපෘති 07 ක ප්‍රතිලාභීන් විසින් ජල නල එළීම සඳහා කාණු නොකැපීම මත ව්‍යාපෘතිවල වැඩ නිම කර නොතිබිණි. ව්‍යාපෘති වටිනාකමින් සියයට 30 ක් වූ ජලනල හා උපාංග පමණක් මිළදී ගෙන තිබුණි.

වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 5.9 ක් වූ ගිවිසුම් වටිනාකමට පෞද්ගලික ආයතනයක් සමඟ 2019 ජූලි 05 වන දින ගිවිසුම් ගතවී තිබූ අතර 2019 සැප්තැම්බර් 03 වනවිට කොන්ත්‍රාත්තුවේ වැඩ ගිවිසුම් ප්‍රකාරව අවසන් කල යුතුව තිබිණි. එහෙත් කොන්ත්‍රාත්කරු විසින් එදිනට වැඩ අවසන් කර නොතිබුණ බැවින් 2019 දෙසැම්බර් 31 වන විට කොන්ත්‍රාත්තුවට අදාළ කාර්ය සාධක සුරක්ෂණයේ වලංගු කාලය ඉකුත් වී තිබුණු රුපියල් 296,417 ක වටිනාකමින් රුපියල් 130,998 අයකර ගැනීමට නොහැකි වී තිබූ අතර කොන්ත්‍රාත්කරු වෙත ගෙවූ රුපියල් 475,146 ක් වූ වියදම නිෂ්කාර්ය වී තිබුණි.

ව්‍යාපෘති වැඩක් නැති තැනට කරලා

අත්තනෝමතික ලෙස ආරම්භ කර ඇති සමහර ව්‍යාපෘති සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුවී නොමැති අතර ශක්‍යතා වාර්තාද ලබාගෙනන් නොතිබුණි. මේ ඒ සඳහා එක් නිදසුනකි. මාතර කිරින්ද පුහුල්වැල්ල මහා විද්‍යාලයයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය සඳහා 2019 වර්ෂයේ රුපියල් මිලියනයක ප්‍රතිපාදන වෙන්කර එයින් රුපියල් 898,582ක් වැය කර දුර පැනීමේ වලක් ඉදිකර තිබුණද එය අවහිර වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැළසුම් අංශය විසින් රුපියල් මිලියන 2.16 ක් වැයකර දිවා/රාත්‍රී වොලිබෝල් පිටියක් සකස්කර තිබීම නිසා එම වියදම නිෂ්කාරය වී තිබුණි.

2018 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1557.94 ක අනුමත ප්‍රතිපාදනයෙන් 2019 වර්ෂය තුළදී රුපියල් මිලියන 300 ක ප්‍රතිපාදන ලබාදී තිබුණි. එම ප්‍රතිපාදන මත සිදු කෙරුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් 03 ක් සඳහා සමාගම් සමග ගිවිසුම් ගතවූ අතර ඉන් එක් සමාගමක් විසින් ලබාදී තිබූ රුපියල් මිලියන 17.0 ක් වූ අත්තිකාරම් බැදුම්කර 02 ක් හා රුපියල් මිලියන 5.9 ක් වූ කාර්යසාධන බැදුම්කර 03 ක් ව්‍යාජ ඒවාබව තහවුරු වී ඇති අතර කොන්ත්‍රාත්කරුවන් විසින් මේ වනවිට මෙම ව්‍යාපෘති අතහැර දමා තිබුණි. වගකිවයුතු නිළධාරීන් නිසි අවධානය යොමු නොකිරීමෙන් මෙම මෙම තත්ත්වය උද්ගත වී ඇත.

වැඩිහිටි දීමනාව ගෙවා නෑ – බොරු අත්සන් ලේඛන අරන්

මේ අතර කෝවිඩ් 19 ව්‍යසනය මගින්ද ඇතැම් රාජ්‍ය නිළධාරීන් කිසිදු හිරිකිතයක් නොමැතිව මුදල් ගසා කා ඇත. තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් කිතලගම නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ ග්‍රාම නිළධාරි විසින් ප්‍රතිලාභීන් 16 කට අදාළ රුපියල් 5000 දීමනා සහ ප්‍රතිලාභීන් 07 කට අදාළ වැඩිහිටි දීමනා එකතුව රුපියල් 116,700 නියමිත දිනදී ප්‍රතිලාභීන් වෙත ලබා දී නොතිබුණි. දින 56 හා 65 ක කාලයක් අත රදවාගෙන අදාළ මුදල් ප්‍රතිලාභීන්ට නියමිත පරිදි ලබාදී තිබූ බවට දැක්වෙන සාවද්‍ය අත්සන් ලේඛන සකස් කර තිබුණි.

තවද පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් හුලංකන්ද ග්‍රාම නිළධාරි වසමේ ග්‍රාම නිළධාරීන් විසින් ප්‍රතිලාභීන් 03 කට අදාළ එකතුව රුපියල් 15,000 ක් සහ මියගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 5000 ක් වශයෙන් එකතුව රුපියල් 20000 ක් අදාළ ප්‍රතිලාභීන්ට ගෙවා ඇති බවට සාවද්‍ය අත්සන් ලේඛන සකස්කර මුදල් ලඟ තබාගෙන තිබී ඇත.

ජනතා සුභ සිද්ධිය නොතකා කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවරයන් පිළිබඳව ජනතාව ද අවධියෙන් සිටිය යුතු වන අතර ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට රජයට සහ පාලකයන්ට බලකල යුතු කාලය පැමිණ ඇත. එය සියලු දෙනාගේම වගකීමක් ද වේ.

බුද්ධික වීරසිංහ- හික්කඩුව





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: