hit counter

2024 දෙසැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 05, පෙ.ව. 7:44



Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, එනිසා ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

එනිසා මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තා වීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මේ පිළිබදව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනු ලබන බවත්, ඒනිසාම අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

විශේෂයෙන්ම Monkeypox රෝගය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝවිය හැක්කේ ඉතාම සමීප ඇසුරකින් පමණක් බවත්, එය විවිධ ක්‍රම ඔස්සේ සිදුවිය හැක්කක් යැයි ද ඒ මහතා පැවසුවා.

මෙම රෝගී තත්ත්වය පැපොල වැනි රෝගී තත්ත්වයක් බවත්, එවැනි වෛරස් තත්ත්වයන් සාමාන්‍යයෙන් විටින් විට ඇතිවන්නක් බවත්, එහෙත් මෙම රෝගය පිළිබදව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඒ පිළිබදව අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කරන ලෙසත්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ‌මේ වන විට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, එනිසා සැක සහිත රෝගීන් පිළිබදව සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවද පෙන්වා දුන්නා.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා;

“ඊයේ (03) දින මෙරටින් ප්‍රථම Monkeypox රෝගියා වාර්තා වූවා. ඔහු නොවැම්බර් මස 01 දා විදේශ රටක සිට මෙරටට පැමිණි වයස අවුරුදු 19 ක පුද්ගලයෙකි. සැක සහිත බැවින් 02 දා වෛද්‍යවරුන් විසින් ඔහුගේ සාම්පල් වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර එම පුද්ගලයා රෝහල් ගත කිරිමට කටයුතු කළා. ඊයේ දිනයේ දී වෛද්‍ය පර්යේෂණායතනය විසින් එම රෝගියාට Monkeypox වෛරසය ආසාදිත බවට තහවුරු කළා. දැනට ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. එමෙන්ම ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා‍.”

“මෙය කිසිසේත්ම බිය විය යුතු දෙයක් නොවෙයි. අප රට තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව නිසාමයි මෙම රෝගියා ද හදුනා ගැනීමට හැකියාව ලැබුණේ. මේ සදහා සිදු කරන පරික්ෂණ කටයුතු සදහා වෛද්‍ය පර්යේෂණායතනයේ සියළු පහසුකම් සහ ඖෂධ තිබෙනවා. කොවිඩ් වෛරසය වගේ මෙම වෛරසය බෝවන රෝගයක් නොවෙයි. නිරෝධායනය කිරිමට, ගුවන්තොටුපල වැසිමට, වෙළෙදසල් වැසීමට අවශ්‍යතාවයක් නැහැ.”

“මම සියළුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා රෝගීන් පිළිබද වාර්තා කිරීමේ දී ඔවුන්ගේ නම් ගම් ඇතුළු පෞද්ගලික තොරතුරු, ආගිය ස්ථාන, ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස. කොවිඩ් වසංගතයේ දීත් මේ වැරැද්ද සිදු කළා. මෙයින් සිදු වෙන්නේ රෝගීන් වෛද්‍ය පරීක්ෂණ වලට ඒම අධෛර්යමත් වීමයි. එය සිදු නොවිය යුතු දෙයත්. සැක කටයුතු රෝගියෙක් සිටිනවා නම් ලගම පිහිටි සෞඛ්‍ය ආයතනය වෙත යොමු ‌වෙන්න. ඔබගේ අනන්‍යතාවයට ගැටළුවක් වන කිසිම කරුණක් මාධ්‍ය වෙත අප ලබාදිම සිදු කරන්නේ නැහැ.”

“මේ වසරේ මැයි මාසයේ තමයි මෙම වෛරසය ලෝකයේ පැතිරෙන්න පටන්ගත්තේ. යුරෝපයේ සහ අනෙකුත් රටවල එය පැතිරිලා දැන් අඩුවෙමිනුයි තිබෙන්නේ. දකුණු ආසියාතික රටවල ගතහොත් දැනට වාර්තා වි තිබෙන්නේ රෝගීන් 23 කි. මියගොස් තිබෙන්නේ එක් රෝගියෙකි. ලෝකයෙන්ම රෝගින් 73,434 ක් දැනට වාර්තා වී තිබෙන අතර එයින් රෝගින් 29 ක් පමණයි මියගොස් තිබෙන්නේ.”

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගීගනගේ මහතා;

“මේ පිළිබදව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ. රටක් විදිහට අපට හොද යාන්ත්‍රයක් තිබුණා. මෙය අළුත් රෝගයක් නොවේ. බටහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවල දෛනිකව සුළු වශයෙන් රෝගින් වාර්තා වූ තත්ත්වයක් තිබූ නමුත් ආවේණික තත්ත්වයෙන් පරිබාහිරව යුරෝපාකරයෙන් සහ ඇමරිකානු මහද්වීපයට අයත් රටවලින් රෝගීන් වාර්තාවීමක් නිරීක්ෂණය ‌කෙරෙනවා. මැයි මස 03, 04 වන සතිවල සිට. එම රටවලට ගිය සංචාරකයින්ගෙන් වාර්තාවීමක් ද නැහැ. එම තත්ත්වයත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබදව අධ්‍යයනය කළා. විශේෂයෙන්ම යුරෝපාකරයේත්, ඇමරිකානු මහද්වීප රටවලිනුත් සැළකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය ජුලි මස මෙය දැනුම් දිය යුතු ප්‍රජා සෞඛ්‍ය ගැටළුවක් විදිහට වාර්තා කරනු ලැබුවා. අප හොද රෝග ආවේක්ෂණයක් තිබෙන රටක්. මෙවැනි රෝගියෙක් වාර්තා වු විට කටයුතු කළ යුතු ආකාරය පිළිබදව උපදෙස් මාලාවක් චක්‍රලේඛයක් ලෙස අප සතියක් ඇතුළත නිකුත් කළා. එයට සමගාමීව අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉන් පසු රෝගියෙක් වාර්තා වුවහොත් තහවුරු කර ගැනීමට අපට රසායනාගාර පහසුකම් ගැනිම අවශ්‍යයයි. එයට ඉතාම කෙටි කාලයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේද සහයෝගය ඇතිව වෛද්‍ය පර්යේෂණායතනයේ මෙම විශේෂිත පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය පහසුකම් සපයා ගත්තා.”

“මෙහි රෝග ලක්ෂණ ගත්තොත් එයට අඩු වැඩි වශයෙන් ශරීරයේ පළු, ලප ඇති වී රැෂ් (සමේ ඇතිවන ආසාදන) එකක ආකාරයට රෝග ලක්ෂණ පැමිණිය ද එය එකවර මෙම රෝගය කියා තහවුරු කිරීමට බැහැ. පැපොල රෝගීනුත් ඒ ආකාරයට වාර්තා වෙනවා. වෛද්‍යවරයෙකු විසින් එය සායනික ඉතිහාසයත්, වසංගතවේදී ඉතිහාසයත් අනුවයි තීරණය කරනු ලබන්නේ. මෙරටින් වාර්තා වූ රෝගියා රටට පැමිණ පැය 24 ක් වැනි කාලයක් තුළ සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර තිබුණා. සෞඛ්‍ය අංශ ඉතා ඉක්මණින් සැක කටයුතු රෝගියෙක් ලෙස හදුනාගෙන සැළැසුම් අනුව අවශ්‍ය තැනට යොමු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පැය 48 ක් යාමට ප්‍රථම තහවුරු කර ගැනීමටත්, ප්‍රජාවට ගැටළුවක් නොවන ආකාරයට සැළැසුම් අනුව රෝහල්ගත කර සායනික පහසුකම් සපයා තිබෙනවා. මේ වන විට ඔහු ඉතා හොද සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා.”

“මෙම රෝගය වාහනයක යෑමෙන් හෝ ආයතනයක සිටීමෙන් පැතිරෙන රෝගයක් නොවේ. මෙය පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට පැතිරෙන්නේ ඉතාම සමිප ඇසුරකිනි. වෛරසය ආසාදිතයෙකුගේ තුවාල වල ශ්‍රාවය තවත් කෙනෙකුගේ ශරීරයේ දැවටීමෙන් එම පුද්ගලයාගේ තුවාලයක් හරහා ශරීරයට ඇතුළුවීමේ ඉඩකඩක් තිබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණයවීමේ හැකියාවක් තිබෙනවා. වාතය මගින්, බිදිති මගින් බෝවීමට ඉතාම අවම හැකියාවක්ය තිබෙන්නේ. එයත් දිගු කාලයක් එකට සමීපව සිටින කෙනෙකුට පමණයි. රෝගීන් බලා කියා ගැනිමට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හොද පුහුණුව ලත් පිරිසක්ය ඉන්නේ. ආරක්ෂිත ඇදුම් සහ ද්‍රව්‍ය ද භාවිත කරන බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙය බෝවීමේ හැකියාව නැහැ. රෝගියා හමු වූ පසු ක්ෂේත්‍රයේ පරික්ෂා කිරිම් සිදු කළා කිසිදු අවදානමක් නැහැ. ඉතා වගකීමෙන් කියන්න පුළුවන් මේ පුද්ගලයා හරහා ප්‍රජාවට රෝගය බෝවීමේ කිසිදු ඉඩකඩක්, අවකාශයක්, මේ වනවිට පෙනීගොස් නොමැත.”

වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකි පොක්ස්’ වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැක සහිත රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

මංකිපොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කල හැකි පුද්ගලයින්

( Suspected cases – Monkeypox)
වෙනත් නිශ්චිත හේතුවක් හඳුනාගත නොහැකි,

එක් වරම හටගත් සමේ කුෂ්ට තත්වයක්
සමඟ,

හිසරදය
එක්වරම හටගත් උණ
වසාගැටිති ඉදිමුම
මස් පිඩු වේදනාව
කොන්දේ වේදනාව
තදබල තෙහෙට්ටු ස්වභාවය

යන රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම් එම පුද්ගලයා ‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කල හැකි අයෙකු ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් , මීට සමාන ලක්ෂණ හටගන්නා පැපොල, සරම්ප, හර්පීස් සොස්ටර් ( අංශ පැපොල), සමෙහි බැක්ටීරියා ආසාදන වැනි රෝග බොහොමයක් පවත්නා නිසා, ඉහත ලක්ෂණ සහිත පුද්ගලයෙක් ‘මංකි පොක්ස්’ ආසාදිතයෙක් බවට සැක කල යුතු දැයි යන්න වෛද්‍ය උපදෙස් මත තීර්ණය කිරීම වඩාත් සුදුසු වනවා.

‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු විය හැකි පුද්ගලයින් ( Probable cases – Monkeypox)

පෙර කී රෝග ලක්ෂණ අනුව ‘මංකි පොක්ස්’ බවට සැක කෙරෙන පුද්ගලයෙක්,

තහවුරු කල ‘මංකි පොක්ස්’ රෝගියෙකුගේ සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා හෝ ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රෝග ලක්ෂණ හටහැනීමට දින 21ක් ඇතුලත, නාඳුනන අයෙකු සමඟ හෝ එක් අයෙකුට වැඩි දෙනෙකු සමඟ ඉතා සමීප ශාරීරික සබඳතා පවත්වා ඇත්නම් හෝ
රුධිර පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ මඟින් මංකිපොක්ස් වෛරසය අයත් වෛරස කාණ්ඩයට අදාල ප්‍රතිඵල ලැබේ නම්

ඔහු හෝ ඇය, ‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු විය හැකි බවට වර්ගීකරණය කෙරෙනවා.

දැනට යමෙකු ‘මංකි පොක්ස් රෝගියෙකු’ බවට නිශ්චිතවම තහවුරු කල හැක්කේ සමෙහි ඇති වූ තුවාල වල කබොල්ල, සම් කොටස් හෝ තුවාලයේ ඇති සැරව ආශ්‍රයෙන් සිදු කෙරෙන PCR පරීක්ෂණයක් මඟින් පමණයි.

‘මංකි පොක්ස්’ ආශ්‍රිතයින් (Contacts – Monkeypox )

මුල්ම රෝග ලක්ෂණය හටගැනීමේ පටන් තුවාල වියලී, කබොලු සියල්ලම හැලී යන තුරු ‘මංකිපොක්ස්’ රෝගියෙකු වාහකයෙක් විය හැකියි. එම වාහක කාලය තුල ඉහත විස්තරකල ‘ ‘මංකිපොක්ස්’ ආසාදිතයෙකු බවට සැක කල හැකි’ හෝ ‘ ‘මංකි පොක්ස්’ ආසාදිතයෙකු විය හැකි ‘ කෙනෙකු,

මුහුණට මුහුණලා සමීපව ඇසුරු කලහොත් හෝ
ඉතා සමීප ශාරීරික සබඳතා පැවැත්වුවහොත් හෝ
පරිහරණය කල උපකරණ හෝ ඇඳ ඇතිරිලි යනාදිය භාවිතා කලොත්

එම පිරිස ආශ්‍රිතයින්, ලෙස සැළකෙනවා.

රෝග ලක්ෂණ කිසිවක් නැති ආශ්‍රිතයින්, සෞඛ්‍ය උපදෙස් අනුව දින 21 ගතවන තෙක් පරීක්ෂාවෙන් පසුවිය යුතු අතර රෝග ලක්ෂණ එකක් හෝ හටහතහොත් වහාම අන් අයගෙන් වෙන් වී උපදෙස් අනුව කටයුතු කල යුතු වනවා.

Example Image