hit counter

2024 මාර්තු මස 02 වන සෙනසුරාදා

2022 ජූලි 08, ප.ව. 12:42



ලී ක්වාන් යූ ලා, මහතිර් මොහොමඩ්ලා, නෙල්සන් මැන්ඩෙලාලා බිහිවන ලෝකයක ඒ දෙස බලා පෝලිම් ගණනේ හූල්ලන, දවසට එක වේලක් කා කුස රවටන අපි සැබැවින්ම අවාසනාවන්තයෝ වෙමු. එහෙත් දුකට කාරණාව ඒ අවාසනාව අප කළ පාපයකින් ලැබූවක් නොව කෛරාටික පාලකයන් දුර්වල රාජ්‍ය පාලනයක් තුළින් අප කර මත බලෙන් පැටවූවක් වන බැවිනි.

මීගමුව මහ නගර සභාව…. පොදුවේ පළාත් පාලන ආයතන මහ නගර සභා හා ප්‍රාදේශීය සභා කෙරෙහි මිනිසුන් තුල පවතින බලවත් අප්‍රසාදයට හේතු මනාව පහදන තවත් එක් අකාර්යක්ෂම ආයතනයකි. රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන වැටුප් හා තවත් අමතර දීමනා රාශියක් ලබමින් මේ සුඛ විහරණය සලසා ගැනීම හැර මොවුන් සිය ධූර කාලය තුළ ඉටු කරන මෙහෙය පිළිබඳ ව සිතා ගැනීමත් අසීරුය.

2019 දී මීගමුව මහ නගර සභාවට කෲකැබ් රථයක් හා ජෙනරේටරයක් මිලට ගැනීමට අවශ්‍ය විය. ඒ වෙනුවෙන් රුපියල් 10,203,860 ක් වැය කරන ලදී. එහෙත් එම වර්ෂයේ දෙසැම්බර්  31 වනතුරුත් එවැනි මිලදී ගැනීමක් සභාව විසින් කර නැත.එම මුදල් වලට සිදුවූයේ කුමක්ද?                            

වැල්ලවීදිය, බාල්දිකොටුව ක්‍රීඩා පිටිය බොරළු යොදා සකස් කිරීමේ ව්‍යාපෘතියක් 2018 දෙසැම්බර් 31 දින ආරම්භ කෙරුණි. එම කටයුත්ත වෙනුවෙන් රුපියල් 1,901,077ක් ගෙවීම් කර තිබුණි. එහෙත් 2019 වර්ෂ අවසානයේ දී එම මුදල් නැවත ගෙවීමට වෙන්කර තිබුණි. මේ එකම කර්තව්‍යයක් වෙනුවෙන් නැවත නැවත ගෙවීම්  කිරීමක්ද…… නැතහොත් ඒ මුදල් කාගේ හෝ සාක්කුවකටද???

වත්කම් හඳුන්ගන්නත් බෑ

2019 වර්ෂයේ දී මිලට ගෙන තිබූ රුපියල් 2,988,800ක් වූ යන්ත්‍ර හා උපකරණ අයිතම 3කට මුදල ගෙවූයේ මහනගර සභාවෙනි. එහෙත් ඒවා සභාවේ වත්කම් වලට එකතු කර නැත. 2018 වර්ෂයේ දී මිලට ගත් ට්‍රැක්ටරයක් ද මෙසේ වත්කම් වලට එකතු නොවිණි.  2017 දෙසැම්බර් 18 පරිත්‍යාග වශයෙන් ලැබී තිබූ compost pallet යන්ත්‍රයද මෙසේ විය. සභාවේ වත්කම් හඳුනා ගැනීමටවත් හැකියාවක් නොමැති මීගමුව මහ නගර සභාව මහජනයාගේ වත්කම් කෙසේ සුරකින්නද…?

මීගමුව මහා නගර සභාවට ලැබුණු අගරු චෙක්පත් වල වටිනාකම රුපියල් 980,270 කි. ඉන් රුපියල් 736,093ක්ම වසර 10ක් ඉක්මවා යන චෙක්පත් ය. ඒවා නිරවුල් කර අයවිය යුතු මුදල් පියවා ගැනීමට සභාවට උවමනාවක් ඇති බවක් නොපෙනේ. චෙක්පත් 07ක් සඳහා හිමිකරුවෙකු පවා සඳහන් ව නැත.

ගබඩා ණයගැති ශේෂය රුපියල් 5,099,478 කි. ඉන් රුපියල් 1,137,229 ක්ම වසර දහයකට වැඩි ණයගැතියන්ගේය. වසර 5-10 අතර වන ණය වල වටිනාකම රුපියල් 2,456,847 කි. විවිධ ණයගැති ශේෂය රුපියල් 2,585,007 කි. ඉන් රුපියල් 2,152,495 ක්ම වසර 10 ඉක්මවූ ණයගැතියන් ය. මෙතරම් කාලයක් තිස්සේ ණය අය කර නොගැනීම සභාවේ අකාර්යක්ෂමතාවයට නිදසුනක් නොවන්නේද? මහජන බදු මුදලින් වැටුප් ලබමින් නගර සභාවේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, නිලධාරීන් ඉටුකරන රාජකාරිය කුමක්ද?

ව්‍යාජ ආදායම්

වරිපනම් දේපල දෙකක් වෙනුවෙන් ලැබී තිබුණේ අගරු වූ චෙක්පත්ය. 2019 මාර්තු 29 දිනැති රුපියල් 129,000 ක චෙක් පතට අදාළ මුදල් අය කර ගැනීමට සභාව ක්‍රියා කර නැත. එසේම පෙර ගෙවුම් ශේෂයේ ඇතුළත් අගරු චෙක්පත් වල වටිනාකම රුපියල් 980,270 කි. ඉන් රුපියල් 736,093 ක්ම වසර 10 ඉක්මවා තිබේ. චෙක්පත් 7 ක හිමිකරුවෙකු ගේ නම පවා සඳහනක් නැත. ඒවායේ වටිනාකම රුපියල් 254,970කි. මේවා නිරවුල් කර අදාළ මුදල් අය කර ගැනීමට සභාවට උවමනාවක් ඇති බවක් නොපෙනේ.

හිඟ සතිපොල ගාස්තු ආදායමෙන් 1/3 ක් 2010 වර්ෂයටත් පෙර කාලයට අදාල ඒවාය. මෙසේ සභාවේ ව්‍යාජ ආදායමක් පෙන්වීමට හේතුව කුමක්ද?

2013 සිට පැවත එන හිඟ තානායම් ගාස්තු 2019 දී කපා හැර තිබේ. ඒ විෂය භාර  අමාත්‍යවරයාගේ අනුමැතියකින් පවා තොරවය. එම කපා හරින ලද මුදල රුපියල් 147,345 කි.එසේම 2019 වර්ෂයට අදාල බදු සහන මත රුපියල් 9,827,721 ක් කපා හැර දමා තිබේ. එයද සභාවේ අනුමැතියකින් තොරවය. සභාවේ නිලධාරියකු වීමද වාසනාවකි. එහි නිලධාරියකුට නිකුත් කළ අත්තිකාරම් රුපියල් 1,358,785ක් පියවා නැත. එහෙත් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට එය පිය වූවා සේ සලකා සමස්ත අරමුදලට කපා හැර තිබුණි.

මහ නගර සභා ආඥා පනතේ (252 අධිකාරය) 218 වගන්තියට අනුව මුදල් වර්ෂයක් අවසන් වූ පසු ඒ වර්ෂය තුළදී නගර සභා අරමුදලින් ගෙවීම් හා අරමුදලට ලැබීම් පිළිබඳ ප්‍රකාශයක් සභාවට ඉදිරිපත් කළ යුතුය. එහෙත් මීගමුව මහ නගර සභාව එම රෙගුලාසිය කඩ කර තිබේ. මුදල් රෙගුලාසි 371 (2) උල්ලංඝනය කරමින් 1986 සිට ලබා ලබා දී තිබූ ලබාදී තිබු රුපියල් 5,099,478 ක අත්තිකාරම් පියවා ගැනීමට සභාව අපොහොසත්ව ඇත. එසේම මුදල් රෙගුලාසි 571 ද බිඳදමමින් රුපියල් 3,277,857 තැන්පත් ශේෂ හඳුනාගෙන නියාදනය කිරීමට කටයුතු කර නැත. බස්නාහිර පළාතේ 2008 අංක 01 දරණ නාගරික හා අපද්‍රව්‍ය කළමනාකරණ රීති අංක 16,50,52 හා 56 යන රීති නොසලකා හරිමින් අපද්‍රව්‍ය කළමනාකරණය ද නිසි පරිදි සිදු කර නැත. මහනගර ආඥා පනතේ 206 (1) වගන්තිය ඉක්මවා යමින් මහ නගර සභාව  විසින් දිගින් දිගටම බැංකු අයිරා ලබාගෙන තිබේ. අයිරා පහසුකම් සඳහා පොලී අනුපාතය 13.25% විය. ණය මුදලක් සඳහා පොලී අනුපාතය 12.75% විය.

ණය කපා හැරීම

සභාවට වඩා වාසිදායක වන ලෙස අයිරාව වෙනුවට ණය මුදලක් ලබා ගත්තේ නම් 2007-2018 වර්ෂ සඳහා රුපියල් 14,256,116 ක්ද  2019 දී රුපියල් 1,387,685 ක්ද අයිරා පොලී ගෙවීමට සභාවට සිදු නොවේ. මීගමුව මහ නගර සභාව මෙසේ හිතුමනාපයේ වියදම් කරනුයේ කාගේ මුදල්ද? ඔවුන්ගේ පෞද්ගලික ධනයද? ඔවුන් මේ වනසා දමන්නේ මහජන මුදල් පමණක් නොවේ; ඡන්දයේදී  බහුතර මීගමු ජනතාව ඔවුන් මත තැබූ විශ්වාසයයි.

2019 ජනවාරි 01 දිනට අය විය යුතු  වරිපනම් රුපියල් 9,905,000 කින් කොච්චිකඩේ උපකාර්යාලයේ අය කරගෙන තිබුණේ 39.5% පමණි. තවත් එවන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක වරිපනම් අයකරගෙන යුතුව තිබේ. ප්‍රධාන කාර්යාලයට අනුව එම දිනට අය විය යුතු වරිපනම් රුපියල් 87,769,094 කින් 45% පමණක් අය කරගෙන තිබිණි. 

මෙසේ අත්තනෝමතික ලෙස මහජන මුදල් වියදම් කිරීමටත් ණය හා ලැබිය යුතු ආදායම් රිසිසේ කපා හරිමින් ඥාති සංග්‍රහ කිරීමටත් මොවුන්ට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? මහජන මුදල් සෑම රුපියලක් සඳහා ම ඔවුන් වගකිව යුතු නොවේද?

අපේ රටේ පහසුම රැකියාව දේශපාලනයයි. ඔවුන් මහජන  ඡන්දයෙන් පත් වුවද කිසිවෙකුට වගකිව යුතු නොවේ. සිතූ සේ මහජන මුදල් කාබාසිනියා කොට, ධුර කාලය යෙහෙන් වැජඹී, ඊළග ඡන්දයේදී නැවත ඉටු කළ නොහැකි වූ වැඩ කොටස කිරීමට ඡන්දය ඉල්ලීමට හැකිය. පාලකයන් ජනතා සේවකයන් ලෙස නොව, මහ රජවරුන්, ඉෂ්ඨ දේවතාවුන් ලෙස සලකන ඡන්ද දායකයෝ යළි යළිත්‍ රැවටෙමින් ඔවුන් වෙනුවෙන් පෙළපාලි යති. ගහමරා ගනිති. කර පිටින් ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහ නගර සභාවට, පළාත් සභාවට පමණක් නොව, පාර්ලිමේන්තුවටද ගෙන යති. දූෂිත නිලධාරීහු තම පැවැත්ම වෙනුවෙන් දේශපාලකයන්ට උඩගෙඩි දෙති. මේ චක්‍රය නිමාවූ දිනෙක මීගමුව මහ නගර සභාව වැනි ආයතන වල “කෙරුම්” අවසන් වී මගේ රට මේ අර්බුදයෙන්ගොඩ එනු ඇත. 

ගම්පහ – චම්පිකා මුතුකුඩ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: