hit counter

2024 මාර්තු මස 05 වන අඟහරුවාදා

2022 ජූනි 27, ප.ව. 4:05



අපි දැන් දින දෙකක් තිස්සේ තෙල් පෝලිමේ  ඉදලා ඉදලා ෂෙඩ් එක ලගට ආපු ගමන් තෙල් ඉවරයි කියනවා. මේක පුදුම කරුමයක්. අපිට ජොබ් එකට යන්න විදිහක් නැහැ. ජොබ් එක කරේ නැත්නම් අපිට කන්න විදිහක් නැහැ. ඇයි අපිට මේ විදිහට කරන්නේ. පාලකයින්ට මේ කිසිම දේක ගානක්වත් නැහැ. අපේ මේ ප්‍රශ්න වලට විසදුමක් දෙන්න බැරිනම් පාලනයෙන් අයින් වෙලා පලයල්ලා.” මේ බදුල්ලේදී තෙල් පෝලිමකින් ඇසුණු එක් කථාවකි.

දින ගණන් තිස්සේ ජනතාව නිදි වරාගෙන තෙල් පෝලිම් වල රැදී සිටිති. සමහර පෝලිම් කිලෝ මීටර් ගණන් ඈතට තිබේ. ඒ අතර ත්‍රීරෝද රථ මෙන්ම යතුරුපැදි විශාල ලෙස දැකිය හැකිය. කොතරම් තෙල් බවුසර් ඉන්ධන පිරවුම් හල් වෙත පැමිණියත් තෙල් ලබාගැනීමට ඇති දිගු පෝලිම් අඩුවන අයුරක් ද දැකගත නොහැකිය.

ඇත්ටම මොකක්ද මේකට හේතුව. මේ ඒ පිළිබදව ඒෂියන් මිරර් කල සොයා බැලීමක්.

ඌව පළාත් සභාවේ වාහන ලියාපදිංචි කිරීම් දත්ත වලට අනුව 2020 වසරේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත වාහන ලියාපදිංචිය 305983කි. එය 2021 වසරේදී 309293කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක් ආවරණය කරමින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 30ක් සහ අයිඕසී පිරවුම්හල් 06ක් තිබේ. තෙල් අර්බුදයට පෙර මෙම ඉන්ධන පිරවුම්හල් තුලින් දෛනිකව සාමාන්‍යයෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන්නේ දාහක් එක් දහස් දෙසීයක් අතර පිරිසක් බව ඉන්ධන පිරවුම්හල් වලින් අප කල සොයා බැලීමේදී අනාවරණය විය. නමුත් මේ වන විටදී එම පිරිස් සිව් ගුණයකින් පමණ වැඩි වී තිබේ. එතරම් ප්‍රමාණයකින් වාහන ප්‍රමාණය වැඩි වූයේ කෙසේද?

මේක බිස්නස් එකක් බවට දැන් පත්වෙලා ඉවරයි. මේ පෝලිමේ ඉන්න පිරිස් බොහෝ දෙනෙක් ලග ගෙවල්වල තෙල් ඕනවටත් වැඩියෙන් තියෙනවා. වැඩි මිලට විකුණගන්න ගෙනියනවා. මේ පෝලිම්වල ලොකු වාහන කිසිවක් දකින්න තියෙනවද. එයාලා තෙල් ගන්නේ අපි වගේ අයගෙන්. අපි කරන්නේ මාරුවෙන් මාරුවට සෙඩ් වලින් තෙල් ගහන එකම තමයි.” අනන්‍යතාවය තහවුරු නොකල ඔහු අපි සම්පත් ලෙස හදුන්වන්නෙමු.  

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දත්තවලට අනුව මෙම තෙල් පෝලිම් හටගැනීමට ප්‍රථම නිකුත් කර ඇති ඉන්ධන භාවිතයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව එහි සුවිශේෂී වෙනස්කම්ද දක්නට ලැබෙයි.

ඉන්ධන ලැබුණත් පෝලිම් අඩුවක් නෑ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක දත්ත වලට අනුව ජනවාරි මාසයේදී පෙට්‍රල් ලීටර් 1,769,304ක් භාවිතා කර ඇති අතර එය අප්‍රෙල් මාසයේදී ලීටර් 1,857,842කි. එය ලීටර් 88,538ක වැඩිවීමකි. එය එක් දිනකදී ලීටර් 2951ක වැඩිවීමකි.

එමෙන්ම ඩීසල් පරිභෝජනය ජනවාරි මාසයේදී ලීටර් 1,364,980කි. එය අප්‍රේල් මාසයේදී 3,075,110කි. එය 1,710,130ක වැඩිවීමක් වන අතර එය එක් දිනකදී ලීටර් 57,004ක්.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ නව වාහන රටේ ලියාපදිංචි නොවන වකවානුවක සංචාරක ව්‍යාපාරයත් කඩා වැටී ඇති මොහොතක සාමාන්‍ය ජනතාවත් තම වාහනය ගෙදර තියා පයින් හෝ බයිසිකලයෙන් ගමන් කරනා යුගයක මෙම තෙල් පරිභෝජනය කලේ කවුරුන්ද කියනා එකට මේ වන විටත් උත්තරයක් නැහැ. කියන්න තියෙන්නේ මෙතන මොකක් හරි සිදු වෙනවා කියන එක විතරයි.” අප හා සම්බන්ධවූ ගුරුවරයෙක් පැවසීය.

තවද පෙර සදහන් කල පරිදි ඉන්ධන ලැබියදීත් වාහන පෝලිමේ අඩුවීමක් දක්නට නොලැබෙන්නේ මේ තුල යම්කිසි මාෆියාවක් ඇති නිසා බවට බොහෝ පුද්ගලයින් පවා පෙන්වා දෙනවා.

බස් ධාවනය සියයට 50කින් අඩුයි

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති සුසිල් කුමාර මහතා අදහස් දක්වමින්,

බදුල්ල දිස්ත්‍රික්කයේ වාහන 698ක් ලියාපදිංචි වෙලා තිබෙනවා. මේ වන විට ඉන් දිනකට ධාවනය සිදු කරන්නේ 380ක් වැනි ප්‍රමාණයක්. අනෙක් බස් රථ බොහෝ දුරට ඉන්ධන පෝලිම්වල. එහෙමත් නැත්නම් අමතර කොටස් නොමැතිව ගරාජ් වල. මෙම බස් රථ සදහා දෛනික ඩීසල් අවශ්‍යතාව ලීටර් 20,000ක්. එයින් කිලෝ මීටර් 60,500ක් පමණ ධාවනය කරනවා.

නමුත් දැන් අපිට තෙල් ලැබෙන්නේ ලීටර් 10,000ක් පමණ එම නිසා ධාවනයත් සියයට පනහකින් පමණ අඩුවෙලයි තියෙන්නේ. එහෙම අඩුවෙලා තියෙද්දි මේ ඉන්ධන හිගයි කියන එක උබතෝකෝටික ගැටලුවක්. මේ පිළිබදව මීට වඩා සොයා බැලිය යුතුයි. යම් කිසි ක්‍රමවේදයකට අනුව ඉන්ධන ලබා නොදෙන්නේ නම් මේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා ඇරනේන විසදුමක් නම් ලැබෙන්නේ නැහැ.

මගේ යෝජනාව නම් බදුල්ල, මහියංගණ, බණ්ඩාරවෙල සහ පස්සර නගර ආවරණය කරමින් එක් ඉන්ධන පිරවුම්හලක් බස් රථ, සිසු සැරිය සහ අත්‍යාවශ්‍ය සේවා සදහා වෙන්කිරීම සුදුසුයි කියලයි.

ඒ වගේම තමයි මේ තෙල් විවිධ ජාවාරම් කාරයින් සගවා ඇති බවට ‍අහන්න ලැබෙනවා. තෙල් සගවා තැබීම් පිළිබදව මීට වඩා සොයා බලා වැටලීම් සිදු කර ඒවාට නඩු පවරා උපරිම දඩුවම් ලබාදී මාධ්‍ය තුලින් ප්‍රචාරය කලා නම් මේ තත්වය මීට වඩා වෙනස් වේවි. ඒ වගේම තමයි එම සගවා ඇති තෙල් තොග රාජසන්තක කල යුතුයි.” යැයි සුසිල් මහතා වැඩි දුරටත් සදහන් කළා.

අපි මේ පෝලිම් නිසා ෂේප් එකේ දවස ගෙවා ගන්නවා. හයර් එහෙමත් නැති නිසා තෙල් ටිකක් විකුණගෙන තමයි ජීවත් වෙන්නේ. දවසක් දෙකක් පෝලිමේ හිටියාට අවුලක් නැහැ. ලීටරයකට සීයක් දෙසීයක් තියාගෙන විකුණ ගන්නවා. මේ තෙල් පෝලිම් තියෙන එක අපිට නම් හොදයි.” නම කීමට අකමැති ත්‍රී රෝද රථ රියදුරෙක් පැවසීය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී නැවත වරක් අගමැතිතුමා පැවසුවා ඉන්ධන මිල ඉහල දමන්න ඕනි කියා. ඒ වගේම සමාජ ජාලා ඔස්සෙත් තෙල් මිල වැඩි වෙනවා කියා දැක්කා. ඉතින් තෙල් මිල වැඩිවෙයි කියන බයට අපි මේ පෝලිමට ඇවිත් පුලුවන් තරම් තෙල් ගිහින් තියා ගන්නවා. කෑන් වලට තෙල් දෙන්නේ නැති නිසයි අපි මේ පෝලිමේ බයිසිකලයත් තියන් ඉන්නේ. ඒ ඇවිත් බයිසිකලේ තෙල් ටික ඇදලා කෑන් වලට දා ගන්නවා.” යනුවෙන් පුද්ගලයෙකු සදහන් කළා.

තෙල් පෝලිමේ තවත් පැතිකඩක්

අපි තුන්දෙනා පොඩි පාටියකට ගියා. පොඩ්ඩක් වැඩිවුණා. ගෙදර ගියොත් බිරිදගෙන් බර බරේ. ඒ නිසා අපි වාහන තුන තෙල් පෝලිමට දාලා හොදට නිදාගෙන හෙට තෙල් ටිකකුත් ගහගෙන ගෙදර යනවා.” ඒ තෙල් පෝලිමේ තවත් පැතිකඩක්.

වාහන හිමියන් පමණක් නෙවෙයි මේ වන විට ගොවීන් පවා ඩීසල් නොමැතිකම නිසා අන්ත අසරණ තත්වයකට පත්වෙලා. කොළ මඩින යන්ත්‍ර වලට ඉන්ධන නැහැ. නෙලාගත්තු පලදාව වෙළදපලට ගෙනියගන්න විදිහක් නැහැ. ” හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවන විට කලු කඩ නිර්මාණය නිරායාසයෙන්ම සිදුවෙනවා. ඒව නවත්වන්න නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි. අද එවැන්නක් සිදුවන්නේ නැහැ. එම නිසා වාහනවලට තෙල් ලබාදෙන ක්‍රම වේදය ඩිජිටල් ක්‍රමයකට ගෙනා යුතුයි. එය එතරම් අපහසු නැහැ. හැම වාහනයක්ම ලියාපදිංචි කොට බාර්කෝඩ් එකක් ආකාරයට ලබා දුන්නොතින් එය මේ තෙල් මාෆියාවට වැට බැදේවි.” යනුවෙන්ද හිටපු ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

ඉන්ධන තොග බෙදාහැරීම වෙනදා තරම් සිදුනොවුනත් ඉන්ධන තොග බෙදාහැරීම සිදුවනවා. නමුත් එය ජනතාවගේ ඉන්ධන පරිභෝජනයට ප්‍රමාණවත් නොවෙන්න පුලුවන්. සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ඉන්ධන මිල පිළිබදව කෙරෙන ප්‍රචාර හේතුවෙන් මෙම ඉන්ධන පෝලිම් වැඩි වන්නට එක හේතුවක් වෙන්න පුලුවන්. ඒ ‍වගේමයි හැමෝම ෆුල් ටෑන්ක් ගහන්න උත්සහ කරනවා. මේ අතර ජාවාරමේ යෙදෙන පිරිසත් නැතුවාම නොවෙයි. මේ පිළිබදව ජනතාවත් නම්‍යශීලි වෙලා කටයුතු කරන්න ඕනි කාලයක් තමයි මේ උදාවෙලා තියෙන්නේ.” යනුවෙන් බදුල්ල ඉන්ධන තොග බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ නිළධාරියෙක් පැවසීය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් ඒකනායක මහතා

මේ වෙලාවේදී රටට ලැබෙන්නේ සීමිත ඉන්ධන ප්‍රමාණයක්. ඉතින් එම නිසා මෙම තෙල් රටට වැඩදායි නිෂ්පාදන ක්‍රියාවලීන්ට සෘජුවම සම්බන්ධවන පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කල යුතුයි. ඒ අතරින් ‍ඩොලර් උපයාගතහැකි කේෂ්ත්‍ර සදහා ප්‍රමුඛත්වය දිය යුතුයි. මොකද මේ වෙලාවේදී රටට ඩොලර් අවශ්‍යයි. එම නිසා නිෂ්පාදන ආර්ථිකයක් තුලින් රටට ඩොලර් ඉපැයීමට අදාල පුද්ගලයින් හදුනාගෙන එම පුද්ගලයින්ට මෙම ඉන්ධන ලබාදීමට ප්‍රමුඛතාවය දෙනවා නම් එය වඩාත් කාලෝචිතයි.” ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් ඒකනායක මහතා සදහන් කළේය.

ඒ වගේම තමයි ආකල්පමය වශයෙන් අප සැවොම වෙනස් විය යුතුයි. මේ මොහොතේදී මෙම ඉන්ධන ජාවාරම්වල නිරතවිය යුතු නැහැ. මිනිසුන් වෙනස් නොවන්නේ නම් අපි ඒ සදහා යම් ක්‍රමවේදයන් ගෙන ආ යුතුයි.

ඒ සදහා අපට මැදිහත්වෙලා පරිගණකය ඔස්සේ මාර්ගගත ක්‍රමයට අනුව වැඩ කටයුතු කල හැකි පරිදි වැඩසටහනක් දියත්කල හැකියි. එය පරිගණකයක් ඔස්සේ සෑම ඉන්ධන පිරවුම්හලක් වෙත ලබාදීමෙන් සිදුකල හැකියි. බදුල්ල දිස්ත්‍රික්කයටම අවශ්‍ය වන්නේ පරිගණක 36ක් පමණයි. ඉතා පහසුවෙන් මෙම ක්‍රියාදාමය ගෙනෙන්න පුලුවන්. වාහනයේ අංකය ඇතුලත් කල සැනින් වාහනයේ ඉන්ධන ලබාගත් සියලු විස්තර බලාගත හැකි පරිදි මෙම මෘදුකාංගය සැකසිය හැකියි. ඒ තුලින් මේ වැඩිපුර තෙල් ගහන්න එන පිරිස් මගහරවා ගත හැකියි. ඒ වගේම එවැනි පුද්ගලයින්ව හදුනාගෙන ඔවුන්ව නීතියේ රැහැනට කොටුකර ගැනීමටත් පහසු වෙනවා.” යනුවෙන්ද ඒකනායක මහතා පැවසීය.

මෙවන් නීති හෝ ක්‍රමවේදයන් ගෙනවිත් රටේ පවතින තෙල් පෝලිම් අඩුකර ගැනීමට කටයුතු නොකලහොත් තෙල් පෝලිම්තුල මියයන පස්වැනි පුද්ගලයා වැඩි ඈතක නොවනු ඇති.

බදුල්ල – ජයලත් දිසානායක  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: