hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 08, පෙ.ව. 10:46



ICC විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

ඔහු මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ පසු වූ අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

නිමා වූ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් සමඟ ප්‍රභාත් ජයසූරිය මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

ඔහු ඉනිම් දෙකේ දී කඩුලු 08ක් බිඳ දැමීමට සමත් විය.

ප්‍රභාත් ජයසූරිය හැර වෙනත් කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ශ්‍රේණිගත කිරීම්වල පළමු 20 දෙනා අතර හෝ නොසිටීම විශේෂත්වයකි.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන්නේ, ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වන අතර, දෙවැනි ස්ථානයේ පසු වන්නේ, දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩායි.

ඉන්දීය වේගපන්දු යවන්නෙකු ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක එකට පත් වු පළමු අවස්ථාව ද මෙයයි.