hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 22, ප.ව. 12:12



මෙරටේ රථවාහන නිෂ්පාදනය, එකලස් කිරීම හෝ රථවාහන නිෂ්පාදනය කිරීම පිළිබඳව කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති කාලයක මෙරටට රථවාහන ගෙන්වීමේදී විශාල ඩොලර් ප්‍රමාණයක් විදේශීය රටවලට ඇදී යන අතර එම මුදල් අප රටේම ඉතිරි කරගෙන රථවාහන නිෂ්පාදනය කිරීමට හැකි නම් රැකියා අවස්ථා බිහිවී රටට ඩොලර් ගෙනෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වනු නොඅනුමානයි.

රට තුළ තිබෙන සම්පත් තුළින් රථවාහන නිෂ්පාදනය කිරීමට තරම් දක්ෂ මෝටර් කාර්මික ඉන්ජිනේරුවරුන් බිහි කිරීමට වර්තමානය වන විට අප රටේ කාර්මික විද්‍යාල සමත්ව ඇතැයි කිව්වොත් බොහෝ දෙනකු එය විශ්වාස නොකරනු ඇති.

එවන් දක්ෂතාවක් තිබෙන තරුණයකු ගැනයි මේ කතාව.

මාතර මොරවක, අලපලාදෙණිය, මොරවිදල ප්‍රදේශයේ පදිංචි ඩී.කේ. පැතුම් උදයංග (24) එක් අයකුට පමණක් ගමන් කළ හැකි මෝටර් රථයක්නි ෂ්පාදනය කිරීමට සමත්ව සිටී. අලපලාදෙණිය ද්විතීයික පාසලේ ආදි ශිෂ්‍යයකු වන පැතුම් උදයංග විශ්වවිද්‍යාලයට යෑමට තරම් උසස් පෙළ විභාගයෙන් ලකුණු ප්‍රමාණවත් නොවීම නිසා මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයට ඇතුළත්ව වසර 3ක මෝටර් කාර්මික ඉන්ජිනේරු පාඨමාලාවක් හැදෑරුවා.

ඔහු දැන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අතරතුර තම දැනුම උපයෝගී කරගෙන අඩු වියදමකින් මෝටර් රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.

කුඩා කාලයේ සිටම යන්ත්‍ර සූත්‍ර, රථවාහන පණ ගන්වා වැඩ කරන ආකාරය පිළිබඳව දැඩි උනන්දුවකින් පසුව ඇති මොහු පසු කාලයේ මෝටර් රථයක් නිෂ්පාදනය කිරීම දක්වා පැමිණි ගමන පිළිබඳව උදයංග මෙලෙස පැවැසුවා.

“මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න. මෝටර් බයිසිකලයක එන්ජිමක් උපයෝගි කරගෙන මම මේ මෝටර් රථය නිෂ්පාදනය කිරීමට කටයුතු කළා. එහිදී පිටුපසට ධාවනය කිරීමට හැකි වන ආකාරයෙන් ගියර් බොක්ස් එකක් තියලා නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. පැයට කිලෝමීටර් 60-70ක දුරක් ධාවනය කළ හැකි වන ආකාරයෙන් මේ රථය සකස් කරලා තියෙන්නේ. රටේ ඉන්ධන මිලත් සමඟ මම තීරණය කළා මෙම මෝටර් රථය ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට සකස් කරන්න. ඒ සඳහා සෝලා පැනලයක් සවි කරලා පිටුපසට ආසනයක් සකස් කරලා වර්තමානයට ගැළපෙන ආකාරයෙන් නිපදවූවා. මෝටර් රථය නිෂ්පාදනය කරන්න ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය වුණා. වසර දෙකක පමණ කාලයක් ඒ සඳහා ගත වුණා.”

මෝටර් රථය වැඩි දියුණු කර ගැනීමට රජයෙන් හෝ පෞද්ගලික අංශයේ සහයෝගය ලබා දෙනවා නම් ලංකාවේ පමණක් නොව විදේශයට ගැළපෙන ආකාරයට නිෂ්පාදනය කරන්න හැකියාව තිබෙන බවට උදයංග පැවැසුවා.