hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 16, පෙ.ව. 9:17



ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් භෞතික ලෝකයේ නව පෙරළියක් ඇති කළ හැකි සුවිශේෂී සන්නායකයක් සොයාගෙන තිබෙනවා.

මෙම සුපිරි සන්නායක පදාර්ථය සොයාගෙන ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර රෝචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ඩයස් සහ ඔහුගේ ශිෂ්‍ය කණ්ඩායම විසින්.

වසර 10කට වැඩි කාලයක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුව ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන රංග ඩයස් මහතා ඇතුළු කණ්ඩායම මෙම සුපිරි සන්නායක ගුණයක් ඇති පදාර්ථය සොයාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම සුපිරි සන්නායක ද්‍රව්‍යය නිර්මානය කර ඇත්තේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සහ ලුටේෂියම් යන මූලද්‍රව්‍ය මුසු කිරීමෙන් බව පැවසෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ විදුලිය එක් තැනක සිට තවත් තැනකට ශක්තියක් වැය නොකර ගෙන යාමට ඇති හැකියාව සහ චුම්භක ක්ෂේත්‍රය හරහා යැවීමේදී එය පාවෙමින් ඝර්ෂණයකට ලක්නොවී ගමන් කිරීමෙන් ශක්තියක් වැය නොවීමයි.

විදුලි හානියකින් තොර අධිබල විදුලි සම්ප්‍රේෂණය, ඝර්ෂණණයකින් තොරව, පොළවට මදක් ඉහළින් ගමන්කරන අධිවේගී දුම්රිය, අඩු වියදම් එම්.ආර්.අයි ස්කෑන් තාක්ෂණය ආදිය සඳහා මෙය යොදාගත හැකියි.

එමෙන්ම ලුටිෂියම් හයිඩ්රයිඩ් උපයෝගි කරගනිමින් අධිවේගී දුම්රිය ධාවනය කිරීමේ හැකියාව, විද්‍යුත් ගුවන් යානා සහ බැටරි ආයු කාලය දිර්ඝ කරගැනීමේ හැකියාව ඇති තාක්ෂණික පෙරළියක් ඇතිකර හැකි නව නිපැයුම් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවද වාර්තා වෙනවා.

මෙම පදාර්ථය සොයාගැනිමට පරීක්ෂණ මෙහෙයුම් සිදුකළ මහාචාර්ය රංග ඩයස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වොෂින්ටන් සරසවියෙන් ලබාගෙන තිබෙනවා.

ඒ මහතා පශ්චාත් ආචාර්ය උපාධි ශිෂ්‍යත්වයක් ලැබ හාවඩ් සරසවියේ පර්යේෂණවල නිරතවීමෙන් අනතුරුව රොචෙස්ටර් සරසවියේ ආචාර්යවරයකු ලෙස මේ වන විට කටයුතු කරනවා.