hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 14, පෙ.ව. 11:02



ඊලෝන් මස්ක් (Elon Musk) මහතාගේ  SpaceX (ස්පේස් එක්ස්) සමාගමට අයත් Starlink (ස්ටාර්ලින්ක්) චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවට පසුගිය දිනවල පුවත් පළ වූවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා Starlink සමග සාකච්ඡා ද අරඹා ඇති බව යි.

මෙරට තුළ නුදුරු අනාගතයේම මෙම සේවාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නියාමන කටයුතු පිළිබඳවත්, ඒ සඳහා වූ පූර්ව අවශ්‍යතා පිළිබඳවත් මූලික වටයේ සාකච්ඡාවල දී අවධානය යොමු වූ බව එම කොමිෂන් සභාව ට්විටර් පණිවිඩයක් ඔස්සේ සඳහන් කළා.

මෙම ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ එම Starlink (ස්ටාර්ලින්ක්) ව්‍යාපෘතිය ගැන කෙටි හැඳින්වීමකට යි.

ඊලෝන් මස්ක්

සුප්‍රකට විද්‍යා හා තාක්ෂණ ව්‍යවසායකයෙකු ලෙස ඊලෝන් මස්ක් (Elon Musk) මහතා හැඳින්වීමට හැකි යි.

Forbes (ෆෝබ්ස්) සඟරාවට අනුව අදවන විට (2021 දෙසැම්බර් 01) ලොව ධනවත්ම මිනිසා ලෙස සැළකෙන්නේ ද ඔහු යි.

ලෝ පතල Tesla (ටෙස්ලා) මෝටර් රථ සමාගමේ නිර්මාතෘ මෙන්ම හිමිකරු වන්නේ ද ඊලෝන් මස්ක් මහතාවන අතර තවත් සුපතල සමාගම් කිහිපයකම ප්‍රධානීත්වය ඔහු විසින් දරනු ලබනවා.

එමෙන්ම ලෝකයට නව තාක්ෂණික නිපැයුම් දායාද කිරීමේ ප්‍රමුඛයෙකු ලෙසට යි ඔහු සැළකෙන්නේ.

ස්පේස් එක්ස්

SpaceX (ස්පේස් එක්ස්) යනු ලොව ප්‍රකට පුද්ගලික අභ්‍යවකාශ ගවේෂණ සමාගමක් වනවා.

ඊලෝන් මස්ක් මහතා විසින් 2002 වසරේ දී එම සමාගම ආරම්භ කළ අතර අඩු වියදම් සහ නැවත භාවිත කළ හැකි රොකට්ටු හරහා අභ්‍යවකාශ ගමන් බිමන් වැඩි දියුණු කිරීම ඔහුගේ මූලික අරමුණ වූවා.

එමෙන්ම SpaceX (ස්පේස් එක්ස්) සමාගම ආරම්භ කිරීමේ දී ඊලෝන් මස්ක් මහතා පෙන්වා දුන් තවත් අරමුණක් වූයේ අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් රැගෙන යාම යි.

මේවන විට යළි යළිත් භාවිත කළ හැකි රොකට්ටු හරහා ඉතා සාර්ථක ලෙස අභ්‍යවකාශ ගවේශන ක්ෂේත්‍රය ජය ගන්නට SpaceX (ස්පේස් එක්ස්) සමාගමට හැකි වී තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය ද මේවන විට ඔවුන්ගේ ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා SpaceX (ස්පේස් එක්ස්) සමාගමේ රොකට්ටු භාවිත කරනවා.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යානාවක් යවනු ලැබූ ප්‍රථම පුද්ගලික සමාගම වන්නේ ද SpaceX (ස්පේස් එක්ස්) ආයතනය යි.

ස්ටාර්ලින්ක්

Starlink (ස්ටාර්ලින්ක්) යනු SpaceX (ස්පේස් එක්ස්) සමාගම විසින් අරඹනු ලැබූ මහාපරිමාණ ව්‍යාපෘතියක්.

පෘථිවිය වටා කක්ෂගත කළ චන්ද්‍රිකා පොකුරු ජාලයක් මගින් පෘථිවි පෘෂ්ඨයේ බහුතර වපසරියක් ආවරණයවන පරිදි අන්තර්ජාල සේවා සැපයීම මෙහි අරමුණ යි.

Starlink (ස්ටාර්ලින්ක්) ව්‍යාපෘතිය කොතරම් දැවැන්තදැයි පැවසුවහොත් මේවන විට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කක්ෂගතව ඇති චන්ද්‍රිකා ගණන 1,800කට අධික බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අනාගතයේ දී එම ගණන මෙන් කිහිප ගුණයක චන්ද්‍රිකා ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට අදාළව කක්ෂගත කිරීමට නියමිත යි.

ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දී එම ගණන 30,000 අභිබවා යා හැකි බව පැවසෙනවා.

ඕනෑම තැනකට ඉන්ටර්නෙට්

මෙම සේවාව මගින් ලොව ඕනෑම ස්ථානයක සිට අධිවේගීව අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකියි යනුවෙන් පැවසුවහොත් එය වැරදි නැහැ.

තාක්ෂණික වශයෙන් එම හැකියාව ඇතත් එක් එක් රටවල්වල අනුමැතිය සහ නියාමනය යටතේ මෙම සේවාව භාවිත කළ හැකිවන පරිදි සිය ව්‍යාපෘතිය සකසන බව යි SpaceX (ස්පේස් එක්ස්) සමාගම පවසන්නේ.

චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා භාවිත කෙරෙන ඇන්ටෙනාව වැනි ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා සංඥා ආදායක ඇන්ටෙනාවක් මේ සඳහා භාවිත කෙරෙනවා.

ඊයේ (30) දිනයෙන් අවසන් වූ 2021 නොවැම්බර් මාසයවන විට Starlink (ස්ටාර්ලින්ක්) ව්‍යාපෘතියේ අත්හදාබැලීමේ සේවාවට අවසර දී ඇති රටවල් ගණන 25ක් පමණ බව සඳහන්.

2022 වසරේ දී Starlink (ස්ටාර්ලින්ක්) ව්‍යාපෘතිය සිය සේවා සම්පූර්ණ වශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවනවා.

කෙසේ වෙතත් මේවන විට රටවල් 20ක 140,000ක් පමණ පිරිසක් මෙහි අත්හදාබැලීමේ සේවාව විඳිමින් සිටිනවා.

තවත් රටවල් කිහිපයක් වෙත ලබන වසරේ (2022) අත්හදා බැලීමේ සේවාව ලැබීමට නියමිත යි.

ඒ අතර ශ්‍රී ලංකාව ද වනවා.

වාසිය

මෙම ව්‍යාපෘතියෙහි සේවාව ශ්‍රී ලංකාවට ලබාගත හැකි වුවහොත්, අන්තර්ජාල සබඳතා නොමැති දුෂ්කර පෙදෙස්වලට පහසුවෙන්ම එම සේවාවන් ලබා ගැනීමට හැකිවනු ඇති.

රට වසා දමා තිබූ පසුගිය කාලයේ දී පාසල් දරුවන් වැනි ප්‍රජාවන් හට අන්තර්ජාල සබඳතාවල අවශ්‍යතාව දැඩිව දැණුනු අතර දුරකතන කුළුණු නොමැති ප්‍රදේශවල දරුවන් එහි දී දැඩි අපහසුතාවයට පත් වූවා.

Starlink (ස්ටාර්ලින්ක්) වැනි පහසුකමකට දුරකතන කුළුණු අවශ්‍ය නොමැති හෙයින් එවැනි සේවාවක් ලැබේ නම් එය දුෂ්කර ප්‍රදේශවල තොරතුරු තාක්ෂණ දියුණුවට මහත් රුකුළක්වනු නොඅනුමානයි.

තවත් ව්‍යාපෘති

පසුගිය කාලයේ කතාබහට ලක් වූ Google Loon (ගූගල් ලූන්) ව්‍යාපෘතියෙහි අරමුණ ද මීට සමාන වූ අතර මූලික අත්හදා බැලීම්වලින් පසු එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූයේ නැහැ.

කෙසේ වෙතත් එය ඇතැම් රටවල් තුළ මේවන විටත් ක්‍රියාත්මක යි.

එමෙන්ම මීට වසර කිහිපයකට පෙර Facebook (ෆේස්බුක්) සමාගම ද දුෂ්කර පෙදෙස්වලට අන්තර්ජාලය ලබා දීමේ ව්‍යාපෘතියක් අත්හදා බැලුවේ ඩ්‍රෝන යානා හරහා යි.

පසුව ඔවුන් ද චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය ලබා දීමේ ව්‍යාපෘතියක් කෙරෙහි අවධානය යොමු කොට තිබුණත් එය ඉදිරියට ගෙන ගියේ නැහැ.

මේ අතර Amazon (ඇමසෝන්) සමාගම ද චන්ද්‍රිකා පොකුරු ජාලයක් මගින් අන්තර්ජාලය ලබා දීමේ ව්‍යාපෘතියක් වෙත අතගසා ඇති බව වාර්තා වනවා.

2022 වසරේ අග භාගයේ දී මේ යටතේ පළමු චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට එම සමාගම සූදානම්වන අතර චන්ද්‍රිකා 3,200ක් පමණ මෙයට යොදා ගැනීමට නියමිත යි.

– සහන් පද්මසංඛ පීරිස්