hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:05



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා එම තනතුරට පත්වූයේ දූෂිත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස බවත්, ඔහු එම තනතුර දරන්නේ සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් තොරව බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ,  තමන්ව සිරගත කළද, රංග දිසානායක මහතා එම තනතුරට පත්වූයේ දූෂිත මෙහෙයුමකින් බව ජනතාවට දැනගැනීමට කළ යුතු සෑම දෙයක්ම සිදු කරන බවයි.

රංග දිසානායක මහතා ඔක්තෝබර් 02 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට අනතුරු ඇඟවූ බව ඔහු එහිදී කියා සිටියා.

තමන් විසින් මාධ්‍ය ඉදිරියේ රංග දිසානායක මහතාට එරෙහිව කරුණු දැක්වුවහොත්, එය දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ කොමිසමට කළ අපහාසයක් ලෙස සලකා නීතිය මගින් තමන්ට කටයුතු කරන බවට කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැවසූ බවද ඔහු එහිදී අවධාරණය කළා.

ගම්මන්පිළ මහතා සඳහන් කළේ, මෙම ප්‍රකාශය හරහා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දූෂණ විරෝධී පනත ගැන නිසි අවබෝධයක් නොමැති බව ප්‍රදර්ශනය කළ බවයි.

සිය ඉතිහාසය පිළිබඳව නොදැන රංග දිසානායක මහතා තමන්ට අනතුරු අඟවන බව පැවසූ උදය ගම්මන්පිළ මහතා , තමන් ජනාධිපතිවරු හය දෙනෙකු සමඟ දූෂණයට එරෙහිව සටන් කළ  කෙනෙක් බවත්,  දූෂණයන්ට එරෙහිව සටන් කර දෙවරක් ඇමති ධූර අහිමි කරගත් අයෙක් බවත් එහිදී කියා සිටියා.

එබැවින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,  තර්ජනය කරමින් තමන්ව නිහඬ කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතාට නොහැකි බව ඔහු තේරුම් ගත යුතු බවයි.

එමෙන්ම දූෂණ විරෝධී පනතේ 118 වන වගන්තියෙන් සඳහන් වන්නේ, යමෙක් අල්ලස් කොමිසමේ අධිකාරියට හෝ කොමසාරිස්වරුන්ට අගෞරව වන ලෙස අපහාසයක් සිදු කළහොත්, එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමකට දඬුවම් ලබාදෙන ආකාරයට දඬුවම් දිය යුතු බව උදය ගම්මන්පිළ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියා.

අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර සමාන වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට බව පෙන්වාදුන් උදය ගම්මන්පිළ මහතා පවසන්නේ, රෙජිස්ට්‍රාර්වරයාට පෞද්ගලිකව සිදුවන අපහාසයක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ අපහාසයක් සේ සලකා කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

උදය ගම්මන්පිළ මහතා වැඩිදුරටත් දැක්වු අදහස් :

“ මාව හිරේ දැම්මත් ඔබතුමා ඔය තනතුරට පත්වුණේ දූෂිත මෙහෙයුමකින් කියන දේ ජනතාවට දැනගන්න කළ යුතු කළ හැකි හැමදේම මම සිද්ධ කරනවාය කියන එක රංග දිසානායක මැතිතුමාට මා සෘජුවම කියනවා.  දූෂණ සොයන්න තිබෙන කොමිසමේ ලොක්කා. ඒ තනතුරට පත්වෙන්නෙත් දූෂිත මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් නම් මේ රටේ දූෂණය මැඩලීම පිළිබඳ ජනතාව කොමිසම පිළිබඳ විශ්වාසයේ තබන්නේ කොහොමද. ?

ඔක්තෝබර් 02 වැනිදා  මාධ්‍ය හමුවක් පවත්වන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා මම එතුමාට එරෙහිව මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වුවොත් දූෂණ විරෝධී පනතේ 118 වන වගන්තිය යටතේ කොමිසමට කරපු අපහාසයක් ලෙස සලකා නීතිය මගින් කටයුතු කරනවාය කියලා අනතුරු ඇඟවීමක් කලා. එතුමා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්ට වුණාට දූෂණ විරෝධී පනත ගැන නිසි අවබෝධයක් නැති බව තමයි ඒ ප්‍රකාශය හරහා ප්‍රදර්ශනය කෙරුවෙ. යමෙක් අල්ලස් කොමිසමෙ අධිකාරියට එරෙහිව හෝ ඊට අගෞරව වන පරිදි අපහාසයක් සිදු කළොත් එය අපහාසයක් සිදු කළහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස සිදු කිරීමකට දඩුවම් ලබාදෙන ආකාරයෙන් දඬුවම් ලබාදිය යුතු යැයි 118 වන වගන්තියෙන් සඳහන් වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට පොදුවේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට අපහාසයක් සිදු කළොත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කිරීම හා සමානයි. එහෙමනම් අල්ලස් කොමිසමටම වෙන්න ඕන නෑ, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ට අපහාසයක් සිදු කළත් අර අල්ලස් කොමිසමට සිදු කළ අපහාසයක් සේ සලකා දඩුවම් ලබා දිය යුතුයි.

නමුත් අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර සමාන වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට  නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර්වරයාට. රෙජිස්ටර්වරයාට පෞද්ගලිකව සිදුවනන අපහාසයක් ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ අපහසයක් සේ සලකා කටයුතු කිරීමේ හැකියාවක් නෑ.. විශේෂයෙන්ම අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඒ තනතුරට පත්වුණේ දූෂිත මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් කියන්න ඒ වගේම එතුමා ඒ තනතුර දරන්නේ සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් තොරවයි කියලා සඳහන් කිරීම අල්ලස් කොමිසමට කරන අපහාසයකට වඩා අල්ලස් කොමිසමේ ගෞරවය රැක ගැනීමට දරණ උත්සාහයක් විදියටයි අපි දකින්නේ. අධ්‍යක්ෂක ජනරාල් තුමා මට අනතුරු අඟවන්නේ මගේ ඉතිහාසය ගැන අවබෝධයක් නැතුව.  මම ජනාධිපතිවරු හය දෙනෙකු සමඟ දූෂණයට එරෙහිව සටන් කළ මිනිහෙක්. තමන්ගේ ආණ්ඩුවේම දූෂණයන්ට එරෙහිව සටන් කරලා දෙවරක් ඇමති ධූරය අහිමි කරගත්ත මිනිහෙක්. ඒ නිසා තර්ජනය කරලා මාව නිහඬ කරන්න බැරි බව එතුමා තේරුම් ගන්න ඕනෙ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: