hit counter

2025 ඔක්‍තෝබර් මස 31 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:02



ඊයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති සී ජින්පිං දකුණු කොරියාවේදී හමුවුණා. ඔවුන් අතර වෙළෙඳ යුද්ධය ලිහිල් කිරීම පිළිබඳ එකඟතාවයක් ඇති වූ බව පෙනී යනවා. ට්‍රම්ප් එම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සමග කියා සිටියේ චීනය විරල පාංශු ලෝහ අපනයනය පිළිබඳ සීමා ලිහිල් කිරීමටත් සෝයා බෝංචි ඇමරිකාවෙන් මිලදී ගැනීමටත් කටයුතු කරන බවයි. ඇමරිකාව චීනයට පනවා ඇති තීරුබදු ලිහිල් කරන බව ද ඔහු පැවසුවා. එමෙන්ම දෙරට අතර කඩිනමින් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇතැයි ද ඔහු කියා සිටියා.

මේ අතර තමා සහ සී ජින්පිං යුක්‍රේන අර්බුදය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ට්‍රම්ප් පැවසුවා.

යුක්‍රේන ප්‍රශ්නය විසඳීම සඳහා සී ජින්පිං තමන්ට සහය වනු ඇතැයි ඔහු කියා සිටියා. කෙසේ වෙතත් ඇතැම් විටෙක තමන්ට රුසියාව සහ යුක්‍රේනය යුධ වදිනු බලා සිටීම හැර විකල්පයක් නොමැති අවස්ථා ද ඇතිවන බවයි ඔහු කියා සිටියේ.

චීනය රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ දෙදෙනා අතර සාකච්ඡා නොවූ බව ද ට්‍රම්ප් කියා සිටියා.

සී ජින්පිං සහ ට්‍රම්ප් අතර හමුවට පෙර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබුණේ රුසියාවට සහය දීමෙන් ඉවත් වන ලෙස චීනයට බල කිරීමට ට්‍රම්ප් කටයුතු කළ යුතු බවයි. නමුත් එවැනි සාකච්ඡාවක් සිදුව නැතැයි පෙනී යනවා. එමෙන්ම ට්‍රම්ප් සඳහන් කළේ යුක්‍රේන යුද්ධයෙන් ඇමරිකාවට හෝ චීනයට හෝ බලපෑමක් නොමැති බවයි. ඇත්තෙන්ම ඇමරිකාව එයින් ආදායමක් උපයන බව ඔහු කියා සිටියා. නමුත් ආදායම උදෙසා යුද්ධය පැවතිය යුතු යැයි තමා නොපවසන බව ද ට්‍රම්ප් සඳහන් කළා.