hit counter

2025 නොවැම්‍බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්‍බර් 11, ප.ව. 2:44



පැටලි පැටලී ඇය සිංහල වචන එකිනෙක අමුණන අයුරු හරි අපූරුයි. පසුගිය දිනක එළිදැක්වූ ලාල් වීරසිංහගේ “රැයක් හෝ පැයක්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය නොෂින් ද සිල්වා සමග ඒෂියන් මිරර් අපි කතාබහකට එකතු කර ගත්තේ මෙහෙමයි..

1.ඔබේ පවුලේ විස්තර වලින්ම අපි මේ කතාබහ පටන් ගමු.

මම ඉපදුණේ ජපානයේ. වයස අවුරුදු 12 වෙනකන් ජපානයේ හිටියා. මට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. මගේ ප්‍රාථමික භාෂාව ජපන් සහ ඉංග්‍රීසි. ජපන් භාෂාව ලියන්න වගේම කියවන්නත් හොඳට පුළුවන්. මගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයන්. සිංහල භාෂාව මට හොඳට තේරෙනවා. කතා කරන්න පොඩ්ඩක් අමාරුයි. අවුරුදු 12න් පස්සේ මම ඇමරිකාවට ගියා පවුලේ අයත් එක්ක. මම ජිවත් වෙන්නෙත් ඇමරිකාවේ. හැබැයි මම ලංකාවෙත් ජිවත් වෙනවා. මගේ රැකියාව මුල්‍ය අධ්‍යක්ෂක. පොඩි කාලේ ඉඳලම මම ආර්ට්, එන්ටර්ටේන්මන්ට් වලට හරිම කැමති කෙනෙක්. මම නර්තනය, ගායනය වලින් පාසල් තරඟ වලට ගිහින් තියෙනවා. පොඩි කාලේ ඉඳන් රංගනයට දායක වෙලා තියෙනවා. මට හොඳට චිත්‍ර අඳින්න එහෙමත් පුළුවන්. ආර්ට් වලට වගේම ෆැෂන් වලටත් මම ගොඩක් කැමතියි.

2.රැයක් හෝ පැයක් චිත්‍රපටය සඳහා ඔබට අවස්ථාවක් උදා වෙන්නේ කොහොමද?

චෙන්නායි වල ඇක්ටින් වර්ක්ෂොප් එකකට ගියා. ඒ අවස්ථාවේ මට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමාව මුණ ගැහුණා. ඔහු මගේ එක්ක කතා කළා. මේ වගේ චරිතයක් තියෙනවා මම කැමතිද කියලා ඇහුවා. මම කැමතියි කියලා තමයි මේකට සම්බන්ධ වුණේ.

3.පුංචි කාලයේ සිටම ඔබ නිලියක් වීමට බලාපොරොත්තුවෙන් සිටියාද?

මගේ පොඩි කාලේ ඉඳලම රංගනයට වගේම චිත්‍ර කලාවට ආසයි. එහෙම රංගනයට එනවා කියන එක මට පොඩි කාලේ ලොකුවට තේරුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳලම එන්ටටේන්මන්ට් ඉන්ඩ්‍රස්ටි එකට කැමතියි. තේරෙන වයස එනකොට මට හිතුණා මට ඇක්ටින් පුළුවන් කියලා. ගොඩක් අය කියනවා මම හොඳට රගපානවා කියලා. හැබැයි ඒ අය ඇත්ත කියනවද කියලා මම දන්නේ නැහැ.මම රඟපානකොට මම හරිම ෆන්. ඒ නිසා තමයි මම ඇක්ටින් තෝර ගත්තේ.

4.මෙම ක්ෂේත්‍රයේ දිගටම රැදී සිටීමට ඔබ සිතනවාද? ඒ වෙනුවෙන් ඉදිරියට ඔබ මොන වගේ දෙයක්ද කරන්නේ?

ඔව් මම ආසයි මේ ක්ෂේත්‍රයේ දිගටම ඉන්න. මම හිතනවා මෙම ක්ෂේත්‍රය නිසා මට තවත් දේවල්වලට යොමු වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. මම හරි ආසයි ස්ටෝරි ටෙලින්වලට.

5.රූගත කිරීම් වලදී ඔබ ලබා ගත් අද්දැකීම් මොනවාද?

රූගත කිරීම්වලදී මට ගොඩක් අද්දැකීම් හම්බ වුණා. මෙම චිත්‍රපටයේ ලැබුණු අද්දැකීම් ගැන මම සතුටින් ඉන්නේ. මේ චිත්‍රපටය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සුසංයෝගයක්. ඉන්දියාවේ නළු නිළියන් ඉන්නවා. චෙන්නායි වල සහ ලංකාවේ මේකේ රූගතකිරීම් සිදු කළා. මෙම චිත්‍රපටයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක සමඟ වැඩ කරන්න මට අවස්ථාව උදා වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මගේ චරිතය තරුණ අම්මා කෙනෙක්. චරිතයේ නම අපර්ණා. තම දියණියගේ අතුරුදහන් වීම මත මවකගේ හිතේ උපදින දේවල් මේ චරිතයෙන් හුවා දැක්වීම මම සිදු කළා. මට සහ චරිතයේ පියාට මෙම චිත්‍රපටයේ දුක්මුසු අවස්ථා කිහිපයක්ම රූගත කිරීමට සිදු වුණා. ඒක ජනතාවට දැනෙන්න කරන්න ඕනි කියන ලොකු වගකීමක් මට තිබුණා.

6.මෙම ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටිනවා නම් භාෂාව ඔබට ප්‍රශ්නයක් වේවිද?

මම හිතන්නේ නැහැ මට භාෂාව ප්‍රශ්නයක් වෙයි කියලා. මට නම් ප්‍රශ්නයක් නැහැ. මට සිංහල හොඳට තේරෙනවා. මට ගොඩක් හොඳට කතා කරන්න පුළුවන්. මට පවුලේ සිංහල කතා කරන්න කෙනෙක් නැහැ. අම්මට සිංහල කතා කරන්න පුළුවන්. ඒ වුණාට අපි ගෙදර කතා කරන්නේ ජපන්, ඉංග්‍රීසි භාෂා වලින්. මම හැමදෙයක්ම ඉගෙන ගන්න කැමති කෙනෙක්. මම ආසයි සිංහල භාෂාව හොඳට ඉගෙන ගෙන හොඳට කතා කරන්න.

7.ටෙලි නාට්‍යක් සදහා ඔබට ඇරයුමක් ආවොත් ඔබ එය භාර ගන්නවද? ඔබ ටෙලි නාට්‍යක තෝරා ගන්නා චරිත සම්බන්ධයෙන් එක ස්ථාවරයක සිටිනවාද?

මම ආසයි ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙන්න. මට ගොඩක් අයගෙන් ආරාධනා ලැබිලා තියෙනවා. මම ආසයි ලස්සන චරිත වලට යන්න. ඕනෑම චරිතයක් මම අභියෝගයකට ගන්න කැමතියි. හොඳ චරිතයක් නම් අභියෝගාත්මක චරිතයක් නම් මම ඒක කරන්න කැමතියි.

8.රැයක් හෝ පැයක් චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කිරීමේදී ඔබට සිදු වූ අමතක නොවන සිදුවීම් තිබෙනවාද?

මගේ චරිතයේ මගේ දුව අතුරුදහන් වීමක් තියෙනවා. ඒකෙන් මම මානසිකව වැටෙනවා. තමන්ටම හිරි හැර කර ගන්න බලනවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට ඒ දුක හොඳටම ෆීල් වුණා. මට ඒ චරිතය කරනකොට ටිකක් බය වුණා.

9.ඔබට ක්ෂේත්‍රයේ අනිත් නළු නිළියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

මට හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මගේ දුරකථන අංකය පවා හොයාගෙන මට කතා කරපු නළු නිලියෝ හිටියා.මම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ අයට ස්තූති කරන්න. සනත් ගුණතිලක මහතා මට ලොකු සහයෝගයක් දුන්නා. මම මේ ක්ෂේත්‍රය අලුත් නිසා පරණ නළු නිළියන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැමෝම වෙනස් වෙනස් විදියට වැඩ කරන්නේ. ඉන්දියාවේදීත් මම ඒ දේ දැක්කා.

10.ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම ආසයි රංගනයේ දිගටම ඉන්න. මම ආසයි චිත්‍රපටයක් කරන්න. ප්‍රේක්ෂකයන්ට ගොඩක් දැනෙන ලස්සන ස්ටෝරි මැසේජ් එකක් දෙන්න කැමතියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: