hit counter

2025 නොවැම්‍බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 21, පෙ.ව. 12:28



ශ්‍රී ලංකාවේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම උදෙසා ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත “මාපිය රැකවරණ දීමනාව” ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශය විසින් සිදු කරනු ලබයි.

මෙම දීමනාව යටතේ සුදුසුකම්ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

දීමනාව ලබා ගන්නා දෙමාපියන් ජීවතුන් අතර සිටින බව තහවුරු කිරීම සඳහා, වසරකට වරක් අදාළ ජීව දත්ත සහතිකය (Life Certificate) අනිවාර්යයෙන්ම රණවිරු සේවා අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම සහතිකය එම දෙමව්පියන් පදිංචි ග්‍රාම සේවා වසමේ ග්‍රාම සේවක නිලධාරියා විසින් සහතික කර පවතින වසරේ නොවැම්බර් මස පළවෙනි දින සිට එළඹෙන වසරේ පෙබරවාරි මස (28) දක්වා වූ මාස හතරක කාලසීමාව තුළ රණවිරු සේවා අධිකාරිය වෙත යොමු කළ යුතුය.

දැනට 32867 ක් වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන් අතරින් 17000 ආසන්න ප්‍රතිලාභීන් පිරිසක් පමණක් නිසි පරිදි සහතිකය ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිලාභීන්ගේ ජීවත් වීම තහවුරු නොවීම හේතුවෙන් ඔවුන්ගේ මාසික දීමනා තාවකාලිකව අත්හිටු වීමට සිදු වී ඇත.

දැනටමත් ජීව දත්ත සහතිකය ලබා නොදුන් රණවිරු දෙමාපියන් කඩිනමින් ජීව දත්ත සහතිකය ලබාදී, තම දීමනා ලබා ගැනීමේ නෛතික අයිතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස රණවිරු සේවා අධිකාරිය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

තවද, දීමනාව අඛණ්ඩව ලබා ගැනීම සඳහා මෙම සහතිකය ඉදිරිපත් කිරීම නීතිමය වශයෙන් බැඳී සිටින කාරණයක් වන අතර, ප්‍රමාද වීමෙන් ලැබිය යුතු මුදල අහිමි වීමට ඉඩ ඇති බව රණවිරු සේවා අධිකාරිය දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: