hit counter

2025 නොවැම්‍බර් මස 27 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:58



තුන්කොන් T 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.

වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ ලකුණු 23 බැගින් ලබා දී කඩුලු 2ක බැගින් දවා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 16.2ක් අවසානයේ ලකුණු 148ක් ලබා තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පැතුම් නිස්සංක පන්දු 58ක් තුළ නොදැවී ලකුණු 98ක් වාර්තා කළේය.

මේ සමග T20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.

ඒ ලකුණු 2305ක් රැස් කර සිටි කුසල් ජනිත් පෙරේරා පසුකරමින්.

පැතුම් නිස්සංක පෙරමුණ ගෙන ඇත්තේ ලකුණු 2326ක් රැස් කර ගනිමින්.

ශ්‍රී ලංකාවට අවසන් තරගයට එක්වීමට නම් පාකිස්ථානය හා සමග බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරගය ජයගත යුතුව තිබේ.