hit counter

2025 දෙසැම්‍බර් මස 12 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:17



හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අද (12) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේද, මාස 6ක බිලිදියක් රිජ්වේ ආර්යා ළමා රෝහලේද නේවාසිකව ප්‍රතිකාර ලබන බව වුට්ලර් මහතා පැවසුවා.

තවද අශෝක රන්වල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 72 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පැවසුවා.

එමෙන්ම මෙම අනතුරේ රියදුරන් බීමත්ව සිටියාද යන්න පරීක්ෂාකිරීම සඳහා වෛද්‍ය වාර්තාවක් කැඳවා තිබෙන බවත්, එහි ප්‍රතිඵලය මත තනතුර තරාතිරම බාධාවක් කර නොගෙන පොලීසිය කටයුතු කරන බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් පෙරදින ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලීසිය ගත් උත්සාහය මන්ත්‍රි අශෝක රන්වල මහතා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා ව්‍යර්ථ වූ බව වුට්ලර් මහතා සඳහන් කළා.

ඒ අනුව අද දහවල් වනවිට වෛද්‍ය වාර්තවක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් මේ සම්බන්ධයෙන් වු වාර්තාවක් සපුගස්කන්ද පොලිසියෙන් කැඳවා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදි රන්වල විසින් ප්‍රතිකාර ගත් රෝහල් සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශඛවරයා පවසා සිටියේ ඔහු අනතුර වු විගස කිරිබත්ගොඩ රෝහලටත් පසුව රාගම ශික්ෂණ රෝහලටත් ගොස් තිබෙන අතර මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බවයි.

එලෙස රෝහල් කිහිපයක හුවමාරු විම වුයේ කෙසේද යන්න විමසු විට වුට්ලර් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන්ද සපුගස්කන්ද ස්ථානාධිපතිවරයා විසින් අද දිනයේ වාර්තාවක් තමාට ලබා දෙන බවයි.

එමෙන්ම මේ දක්වා කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: