hit counter

2025 දෙසැම්‍බර් මස 21 වන ඉරිදා

2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:10



කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී ඇති අතර ආපදා සහනාධාර බෙදීමේ කටයුතු වලදී සිය රාජකාරියට බාධා කරමින් පුද්ගලයින් පිරිසක් පහරදීම මත රාජ්‍ය නිලධාරීන් අදාළ කටයුතු වලින් ඉවත්වීම මෙයට හේතුව බව වාර්තා වේ.

ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පවසන්නේ අදාළ නිලධාරීන්ට ආරක්ෂාව ලබා දෙන තුරු යළිත් ආපදා සහනාධාර බෙදාදීමේ කටයුතු සදහා සහභාගි නොවන බවට එම නිලධාරීන් තීරණය කර ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නන්දන රණසිංහ මහතා,

“කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව ආධාර බෙදීමේ කටයුත්තේ නිරත වෙලා හිටිය ග්‍රාම නිලධාරීන් පස් දෙනෙකුට පහර දීලා තියෙනවා. තවත් හතර දෙනෙක්ට බැන තර්ජනය කිරීම් සහ සේවා ස්ථානයේදී හා නිවසට ඇවිත් තර්ජනය කිරීම් සිදු කරලා තියෙනවා මේ ආධාර ලාභී ජනතාව. බොහෝ විට රජය මගින් නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛනවල තියෙන අඩුපාඩු තත්ත්වය නිසා තමයි ජනතාව කුපිත වෙලා මේ ආධාර ලබා ගන්න ඇවිත් මේ පහර දීමට සිදු කිරීමට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම රජයට කියනවා මේ සහනාධාර බෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාධ්‍ය ප්‍රකාශයකට අමතරව පැහැදිලි චක්‍ර ලේඛනයක් ජනතාවට අවබෝධ කර ගත හැකි චක්‍ර ලේඛනයක් නිකුත් කරලා ඒ අනුව වැඩ කරන්න. ඒ වගේම සහානාධාර බෙදීමේ කටයුතුවල නියුතු රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් ලැබෙන තුරු කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම රාජ්‍ය නිලධාරීන් සහනාධාර බෙදීමේ ක්‍රියාවලියෙන් තාවකාලිකව මේ වන විට ඉවත් වෙලා තියෙනවා”

අදාළ ගැටලුව සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් පී.ජී.එස්.එන්. ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කළේ රජය විසින් ලබා දෙන සහනාධාර සම්බන්ධයෙන් ජනතාව තුළ නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස රාජ්‍ය නිලධාරීන්ට තර්ජන එල්ල වී ඇති බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: