hit counter

2025 දෙසැම්‍බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 25, ප.ව. 7:48



එළඹෙන තමිල් නාඩු මහමැතිවරණය සඳහා සන්ධානගතව තරග කිරීම පිළිබඳ තලපති විජේගේ නායකත්වයෙන් යුතු තමිලාග වෙට්රි කලහම් පක්ෂය ටී.ටී.වී දිනකරන් සහ ඕ. පන්නීර්සෙල්වම් සමග සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වනවා.

මේ බව තමිලාග වෙට්රි කලහම් ප්‍රබලයකු වන සෙන්කෝට්ටියන් මාධ්‍යවේදීන් හමුවේ තහවුරු කර සිටියා.

ටී.ටී.වී. දිනකරන්ගේ අම්මා මක්කල් මුන්නේත්‍ර කලහම් (AMMK) පක්ෂය ජයලලිතාගේ මරණයෙන් පසු සමස්ථ ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (AIADMK) පක්ෂයෙන් ඉවත් වූ කණ්ඩායමක්. ඔවුන් 2021 දී තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වූ අතර එහිදී සියයට 2.35 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. ඔවුන් තරග කළ සමස්ථ සන්ධානය සියයට 2.85 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළා.

ඕ. පන්නීර්සෙල්වම් ද ජයලලිතාගේ මරණින් පසු සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය තුළ ඇතිවූ අභ්‍යන්තර බල අරගලවලින් අනතුරුව පක්ෂයෙන් ඉවත් වූ ප්‍රබලයෙක්. නමුත් ඔහු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගාගෙන නැහැ. 2024 මහමැතිවරණයේදී ඔහු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් රාමේශ්වරම් ආසනයට තරග කළ නමුත් එහිදී පරාජයට පත්වුණා.

තමිලාග වෙට්රි කලහම් හි සෙන්කෝට්ටියන් ද දීර්ඝ කාලයක් AIADMK පක්ෂයේ ප්‍රබලයකු ව සිට මෑතකදී පක්ෂය සමග මතගැටුමකින් අනතුරුව ඉන් ඉවත් කරනු ලැබූවෙක්.

මේ අතර මෑතකදී තමන් විසින් කළ සමීක්ෂණයක් අනුව තම පක්ෂයට සියයට 30 ක ජනප්‍රසාදයක් වේ යැයි හෙළිව තිබෙන බව තමිලාග වෙට්රි කලහම් පක්ෂය නොබෝදා සඳහන් කළා.

තලපති විජේගේ ජනප්‍රියත්වය හේතුවෙන් බොහෝ පක්ෂ ඔහු සමග සන්ධානගත වීම කෙරේ උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. තමිල් නාඩු කොන්ග්‍රස් පක්ෂ ප්‍රබලයන් ද පසුගිය සමයේ තලපති විජේ සමග සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වී තිබෙනවා.

තමිල් නාඩු ප්‍රාන්ත මැතිවරණය 2026 වසරේ මුල් මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.