hit counter

2025 දෙසැම්‍බර් මස 31 වන බදාදා

2025 දෙසැම්‍බර් 30, ප.ව. 11:47



බංග්ලාදේශයේ පළමු අගමැතිණිය වූ බෙගම් කලීඩා සියා අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කළා. මියයන විට 80 වන වියෙහි පසුවූ ඇය අවසන් සමයෙහි දැඩි සේ රෝගාතුරව සිටියා.

හිටපු ජනාධිපති සියා උර් රහ්මාන්ගේ භාර්යාව වූ කලීඩා සියා, 1981 දී සිදුවූ තම ස්වාමි පුරුෂයාගේ ඝාතනයෙන් වසරකට පමණ පසු, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව බවට පත්වුණා.

ඇය 1991-1996 සහ 2001-2006 ධුර කාලවලදී බංග්ලාදේශයේ අගමැති ධුරය දැරුවා.

කලීඩා සියා සහ ශෙයික් හසීනා අතර දේශපාලන වශයෙන් වූයේ ප්‍රබල එදිරිවාදිකමක්. 2009 දී ශෙයික් හසීනා අගමැති ධුරයට පත්වූ පසු කලීඩා සියාට එරෙහිව දූෂණ චෝදනා විභාගයට ගන්නා ලද අතර ඇය කලක් බන්ධනාගාරගත කරනු ලැබුණා.

ශෙයික් හසීනා බලයෙන් නෙරපා හැරීමත් සමග සිදුවන නව දේශපාලනික තත්ත්වයන් යටතේ මීළඟ මහමැතිවරණය කලීඩා සියාගේ පක්ෂය විසින් ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළවනවා. එම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ කලීඩා සියාගේ පුත් තරීක් රෙහ්මාන් විසින්.