hit counter

2026 ජනවාරි මස 21 වන බදාදා

2026 ජනවාරි 21, පෙ.ව. 10:27



හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ට උපකාරක පන්තියක් අතරතුර “මෝඩයෙක්” ලෙස අපහාස කළ ගුරුවරයෙකු, එම ප්‍රකාශ ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමෙන් පසු එල්ල වූ දැඩි විවේචන හමුවේ ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.

TikTok සහ Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල බෙහෙවින් සංසරණය වූ මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ, පන්තියක් අතරතුර සිසුන් ඉදිරියේ ඔහු වික්‍රමසිංහයන්ගේ සාහිත්‍යමය වටිනාකම අවතක්සේරු කරන ආකාරයයි. එහිදී ඔහු ප්‍රශ්න කර සිටින්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම බලපෑම් සහගත නූතන ලේඛකයෙකු ලෙස සැලකෙන වික්‍රමසිංහයන් හෙළයේ මහා ගත්කරු ලෙස සලකන්නේ ඇයිද යන්නයි. තවද, තමන් පෞද්ගලිකව ඔහුගේ කෘති කියවීමට අකමැති බවත් ඔහු එහිදී පැවසුවා.

“ගම්පෙරළිය ලියපු ඒ මෝඩයා… මොකක්ද එයාගේ නම… මාර්ටින් වික්‍රමසිංහ. දැන් ඔයාලා හැමෝම ගම්පෙරළිය කියවන්න කැමතිද? එහෙනම් ඇයි මේ රටේ ශ්‍රේෂ්ඨ ලේඛකයා වික්‍රමසිංහ කියලා කියන්නේ? හේතුව මොකක්ද? මට ඒක තේරෙන්නේ නැහැ. හිතලා බලන්න ඔයාලා කොච්චර රැවටෙනවද කියලා. මුද්‍රිත පොතේ එහෙම තියෙන නිසා හරි, ඉස්කෝලේ ගුරුතුමා කියන නිසා හරි, ඔයාලා විභාගෙට ලියනවා ලංකාවේ ශ්‍රේෂ්ඨ ලේඛකයා වික්‍රමසිංහ කියලා. ඒත් ඇත්තටම ඔයාලට ඒක දැනෙනවද? එයා ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්ද? එයා මොන වගේ ලේඛකයෙක්ද?
මට එයාගේ කිසිම පොතක් කියවන්න හිතෙන්නේ නැහැ. ඔයාලට එහෙම හිතෙනවද? මට නම් නැහැ. ඊළඟට ඔයාලට සිංහල සාහිත්‍යයේ කෑලි කෑලි උගන්වනවා. ඒ මොකටද? අදටත් මම කල්පනා කරනවා ඇයි ඒ දේවල් උගන්වන්නේ කියලා. සැළලිහිණි සන්දේශය තියෙනවා. මම දන්නේ නැහැ ඒකෙන් ඇති වැඩේ මොකක්ද කියලා.”

ගුරුවරයා පසුව සැළලිහිණි සන්දේශයේ කවියක් අසභ්‍ය ලෙස වෙනස් කරමින් සිසුන්ට පවසන අයුරු අදාල වීඩියෝවේ දැක්වුණා.

ගම්පෙරළිය වැනි කෘති නිසා සම්භාවනාවට පාත්‍ර වූ මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍යයට කළ මෙහෙවරට පමණක් නොව, දර්ශනය, පරිණාමය, මානව විද්‍යාව සහ සමාජ ඉතිහාසය පිළිබඳ ඔහුගේ ලේඛන සඳහා ද ප්‍රසිද්ධියක් උසුලනවා. මෙවැනි පුද්ගලයින්ට පන්ති කාමරයක් තුළ අපහාස කිරීම, උපකාරක පන්ති ගුරුවරුන් කිසිදු පදනමක් නොමැතිව තම පෞද්ගලික සහ පහත් අදහස් සිසුන් මත පැටවීමේ වැඩෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව බොහෝ දෙනා පෙන්වා දුන්නා.

විවේචන මධ්‍යයේ, ගුරුවරයා සිය ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයැදිමින් Facebook හි වීඩියෝවක් පළ කළා. ඔහු කියා සිටියේ මෙම අදහස් පන්ති කාමරයක් තුළ කළ ඒවා මිස සමාජ මාධ්‍යයට එක් කිරීමට අදහස් කළ ඒවා නොවන බවයි.

“මම කියපු දේට මම වගකීම භාරගන්නවා, ඒ නිසා හිත රිදුණු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා,” ඔහු සිය ප්‍රකාශයෙන් පැවසුවා. “මෙය සමාජ මාධ්‍යයට එක් කිරීමට මට කිසිදු අදහසක් තිබුණේ නැහැ. එය මා විසින් කරන ලද්දක් නොවෙයි. මම මීට වඩා කල්පනාකාරීව වචන භාවිතා කළ යුතුව තිබුණා.”

මෙම දර්ශන පසුව TikTok වෙත මුදා හරිනු ඇතැයි තමන් නොදැන සිටි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: