hit counter

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 23, පෙ.ව. 12:18



බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ නන්දනී වෙලා මේදා ජයරත්න කරන ආන්දෝලනාත්මක රංගනය ගැන මේ දිනවල ප්‍රේක්ෂකයො අතර ලොකු කතාබහක් ඇතිවෙලා. එවැනි අභියෝගාත්මක රංගනයක් ඉදිරිපත්කිරීම ගැන මේදා එක්ක කතා කරන්න අපි හිතුවා

බැද්ද අද්දර, නන්දනී විදිහ⁣ට රංගන ක්ෂේත්‍රයේ තබපු පියවර ගැන මේදගේ අදහස මොකක්ද ?

මේ තාක් රංගනයෙන් දායක වුණ ටෙලිනාට්‍ය අතරින් බැද්ද අද්දර අතිවිශිෂ්ට ටෙලිනාට්‍යයක් විදිහට හඳුන්වන්න මම කැමැතියි. මුලින්ම මම බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ පිටපත කියෙව්වහම මට තේරුම්ගියා පිටිසර ගමක ජීවත්වන මිනිස්සු කොට්⁣ඨාසයක් ජීවන අරගලයකත් තවත් මිනිස්සු කොට්ඨාසයක් බල අරගලයකත් යෙදෙන ලස්සන කතාවක් කියලා. විශේෂයෙන් සල්ලිභාගෙ සහ බලය තියන මිනිස්සු අතින් සාමාන්‍ය මිනිස්සුන්ව පීඩාවට පත්වීම, රට රකින මුවාවෙන් කැළෑ කපන, අනවසරයෙන් වැලි ජාවාරම් කරන සහ නිදන් ගොඩඅරගෙන වැජඹෙන්න උත්සාහ කරන දූශිත දේශපාලනඥයො ගැන, අලි මිනිස් ගැටුම වැනි දේවල් බැද්ද අද්දර ටෙලිනාට්‍යයෙන් කියනවා. ඉතින් බැද්ද අද්දර ටෙලිනාට්‍යය පුරාවටම නන්දනී විදිහට මට සෑහෙන්න ලොකු ⁣රඟපෑමක් කරන්න තියනවා. ඇත්තටම මම මේ විදිහෙ චරිතයක් මීට කලින් රඟපාලා නැහැ⁣.

බැද්ද අද්දර රූගත කරන්නෙ කොහෙද?

බැද්ද අද්දර රූගත කරන්නෙ උතුරු මැද පළාතේ මහෝ ප්‍රදේශයෙ. ටෙලිනාට්‍යයේ පෙන්නනවා වගේ මේ ගම අලි ඇතුන් ඉන්න ස්වභාවික ලස්සනින් පරිපූර්ණ ප්‍රදේශයක්. රූගතකිරීම් කරන්න ඉස්සෙල්ලා බාහිර පෙනුමෙන් නන්දනී විදහට වෙනස්වීමයි ඉස්සෙල්ලම කරන්නෙ. නන්දනී සාමාන්‍ය ගැමි කාන්තාවක් නිසා මගේ ඇත්ත පෙනුමට වඩා චරිතයේ පාට ගොඩක් අඩුකරලා තියෙන්නෙ. ඉතින් නන්දනී විදිහට මාව වෙනස් කරන මේකප් එකට පැයක විතර කාලයක් යනවා. අධ්‍යක්ෂ බුද්ධික ලොකුකැටිය සහ කතාව තිර රචනය කරන සමන්ත කුමාර ගමගේ ඇතුළු බැද්ද අද්දර නිෂ්පාදක කණ්ඩායමේ අපි සියලුදෙනාම සහයෝගයෙන් එකතුවෙලා සාර්ථක ටෙලිනාට්‍යයක් විදිහට නිර්මාණ කටයුතුවල නියැලෙනවා.

නන්දනීව, මේදට දැනෙන්නෙ කොහොමද?

ප්‍රේක්ෂකයො කොයිකාටත් නන්දනීව මුලින්ම දකිනකොට හිතෙන්න ඇති තමන්ගෙ මිනිහා ඉද්දි පිට මිනිස්සුන්ව ගෙට වද්දගෙන වාසි ගන්න උත්සාහ කරන කපටි වණචර ගෑනියෙක් කියලා. හැබැයි ඇත්තටම නන්දනී කසාද මනුස්සයට තමන්ගේ පණටත් වඩා ආදරේ කරන බිරිඳක්. කසාද මනුස්සයට ද්‍රෝහීවෙලා හැම මනුස්සයෙක් එක්කම නිදිවදින ගැහැනියක් නෙමෙයි නන්දනී. මනුස්සයට කරදරයක් කරන්න උත්සාහ කරන පිරිමින්ව විතරයි නන්දනී වසඟයට අරගෙන යහන්ගත වෙන්නෙ. තමන්ගෙ ආත්මයම කැපකරලා සැමියට ආදරේ කරන බිරිඳක් නන්දනී. පිටතට නන්දනී නරක ගෑනියක් විදිහට පෙනුනනට නන්දනී තුළ අසරණ කතාවක් තියනවා.

බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ අභියෝගාත්මක රංගන අවස්ථාවලට මේදා මුහු⁣ණ දුන්නෙ කොහොමද?

පිරිමි එක්ක නන්දනී සමීපව ඉන්න දර්ශන කීපයක් බැද්ද අද්දර ටෙලිනාට්‍ය තුළ අඩංගුවෙලා තියනවා. මීට කලින් ඒ විදිහෙ දර්ශන රගපාලා නැති නිසා මට චකිතයක් තිබුණා. හැබැයි බැද්ද අද්දර කියන්නෙ උසස් ටෙලිනාට්‍යයක්. ඉතින් අභියෝගය බාරඅරගෙන මම බැද්ද අද්දර වෙනුවෙන් කැප වුණා.

නන්දනී වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

බැද්ද අද්දර මේ වෙද්දි ඉහලම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වෙලා තියනවා. ලක්ෂ දෙකකට වැඩි ⁣රසිකයො පිරිසක් ටෙලිවිශනයෙන් සහ You tubeවලින් බැද්ද අද්දර නරඹනවා. ඉතින් නන්දනීගේ චරිතය වෙනුවෙන් මම ඉදිරිපත් කරන රංගනය ගැන අගය කරලා සමාජ මාධ්‍යවල මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නන්දනීට විවේචන එල්ලවෙනවද?

නන්දනීගේ චරිතය ඇතුළු බැද්ද අද්දර ටෙලිනාට්‍ය හොඳ නිර්මාණයක් විදිහටයි ප්‍රේක්ෂකයො තේරුම් අරගෙන ඉන්නෙ. කවුරුත් නන්දනීට බනිනවානම් තවම දැක්කෙ නැහැ⁣. හැබැයි මම දරණ දේශපාලන මතය සමග නන්දනීගේ චරිතය සම්බන්ධ කරලා දේශපාලන ඇරියස් පිරිමහගන්න සමහරු උත්සාහ කරලා තිබුණා. නමුත් ඉතින් කවුරුත් ඒවා ගණන් අරගෙන තිබුණේ නම් නැහැ⁣.

මේදා සාර්ථක නිළියක් වුණේ කොහොමද?

රංගනය ගැන සහ මාධ්‍යකරණය ගැන මම උසස් අධ්‍යාපනය ලබලා තියනවා. සාර්ථක නිළියක් වෙන්න ඒ දේවල් උදව් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් මම ටෙලිනාට්‍ය ගොඩක රඟපාලා නැහැ⁣. රංගනයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් රංගපරාසයක් තියනවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මගේ රංගන හැකියාවෙන් නිර්මාණකරුවො ඒ හැටි වැඩක් ගත්තෙ නැද්ද කියලා සමහර වෙලාවට හිතෙන අවස්ථා තියනවා.

රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න අලුත් පරම්පරාව ගැන අදහස මොකක්ද?

අද වෙද්දී ⁣දක්ෂ නවක නළු නිළියො පිරිසක් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. බැද්ද අද්දර ටෙලිනාට්‍යයේදී මට හම්බවෙනවා නයෝමි තක්ෂිලා ඇතුළු අලුුත් පරම්පරාවෙ නළු නිළියෝ. අපි වගේම ඔවුනුත් නිර්මාණය සාර්ථක කරගන්න මහන්සිවෙලා වැඩ කරනවා. මම හිතනවා අලුුත් පරම්පරාවෙ දක්ෂයොත් එක්ක රංගන ක්ෂේත්‍රයේ ආනගතය ⁣තවත් සුබ වෙයි කියලා.

මේදා හැමදාම ලස්සනට ඉන්න රහස මොකක්ද?

ලස්සන කියන දේ එන්න ඕනි හිත ඇතුළෙන් කියලා මම විශ්වාස කරනවා. මම ගුණදායි දේ කනවා, workout කරනවා. අනික මම කාටවත් වැරදි කරන්න හිතන් නැහැ⁣.

ලස්සනට ඉන්න ගමන් අනිත් කාන්තාවොත් ලස්සන කරන්න උත්සාහ කරනවා කියලා ආරංචියි…

ඔව්. මම ලස්සනට ඉන්න ගමන් අනිත් කාන්තාවොත් ලස්සනට ඉන්නවා දකින්න මම කැමැතියි. ඉතින් කාන්තාවන්ට ඇඟ ලස්සන කරගන්න උපදෙස් දෙන පන්තියක් මම ඔන්ලයින් කරගෙන යනවා.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: