hit counter

2026 ජනවාරි මස 26 වන සඳුදා

2026 ජනවාරි 27, පෙ.ව. 12:09



‘Mrs. Sri Lanka World 2025’ ලෙස කිරුළු පැළඳි ඈ නමින්, ‘සබීනා තෝර්සන් යූසෆ්’ (Sabina T. Yousaf)

වත්මන් ලෝක විවාහක රූ රැජින වන ‘Tshego Gaelae’ අතින්, ‘Mrs. Sri Lanka World 2025’ ලෙස පසුගියදා කිරුළු පැළඳි සබීනා, මේ වන විට 41වැනි ලෝක විවා­හක රූ රැජින තර­ගා­ව­ලිය සඳහා සහභාගීවයි පසුවන්නේ.

අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ පැවැ­ත්වෙන ලෝක විවා­හක රූ රැජින තර­ගා­ව­ලි­ය, රට­වල් 60කට අධික සංඛ්‍යා­වක රූ රැජිනියන්ගෙන් සමන්විතයි.

තරගය, 22 සිට 29 දා දක්වා අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ලාස්වේ­ගාස් නුව­රදී පැවැ­ත්වෙනවා.

‘Mrs. World’ යනු, ලොව ප්‍රමුඛතම රූ රැජින තරගාවලිය වන අතර, එය විවාහකයින් සඳහා පැවැත්වෙන ලොව විශාලතම තරගාවලිය ද වනවා.

‘Mrs. Sri Lanka World’ හි ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන්නේ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහයි. ජාතික පුහුණුකරු ලෙස රුක්මාල් සේනානායක කටයුතු කරයි.

නිමාව දුටු මෙවර Mrs. Sri Lanka අවසන් මහා තරගාවලියේ සුවිශේෂීත්වයක් වූයේ, වත්මන් විවාහක රූ රැජින Tshego Gaelae සේ ම ගෙවුණු වසරේ ලාංකේය විවාහක රූ රැජින හෙවත් Mrs. World 2024 දෙවන තැන දිනාගැනීමට සමත්වූ ඉෂාදි අමන්දා, සබීනාගේ හිස කිරුළු පැළඳීමට එක්ව සිටීමයි.

සබීනාට 25යි :

ශ්‍රී ලංකාවේ සහ ඩෙන්මාර්කයේ දිවිත්ව පුරවැසිභාවය දරන සබීනා යූසෆ්, Mrs. Sri Lanka කිරුළ පැළඳියේ 25 හැවිරිදි යුවතියක ලෙසයි.

ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරන ඇය විවාහ වී සිටින්නේ ඩෙන්මාර්ක් ජාතික Zakaria Yousaf සමඟයි. ලංකාවේ සංස්කෘතියට අනුකූලව ඉකුත් පෙබරවාරියේ පැවති ඇගේ විවාහ මංගල උත්සවය ද වඩාත් කතාබහට ලක්වූ එකකි.

2016 වර්ෂයේ ‘යුරෝපයේ ලක් රූ රැජින’ සබීනා තෝර්සන් :

සබීනා රූ කිරුළක් පැළඳි පළමු අවස්ථාව මෙය නොවේ. 2016 වසරේ ‘යුරෝපීය ශ්‍රී ලංකා රූ රැජින’ ලෙස කිරුළ පැළඳියේ ද ඇයයි. එවකට ඈ උසස් අධ්‍යාපනය ලබන යුවතියකි.

සබීනාගේ මව ශ්‍රී ලාංකීය වන අතර පියා ඩෙන්මාර්ක් ජාතිකයෙකි.

සබීනා උසස් අධ්‍යාපනය හදරා ඇත්තේ ජාත්‍යන්තර ව්‍යාපාර පරිපාලන හා කළමනාකරණය පිළිබඳවයි. ඇය තමන්ගේම කළමනාකරණ ආයතනයක් ද පවත්වාගෙන යන බව සඳහන්.

සමාජ මෙහෙවර :

රූ කිරුළක් හිස පැළඳීම, හුදෙක් ‘රූපයට’ පමණක් සීමා නොවන්නකි.

ඊට පසුබිම් වන සමාජමය වටිනාකම් රැසකි. සබීනා ද සමාජ සුබ සාධන කාර්යයන් රැසකට සිය දායකත්වය සපයයි.

ඒ අතර ඇය සිය සුන්දරත්වය, පිළිකා සහ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සඳහා ප්‍රතිපාදන සොයාදීමට යොදවයි.

‘යුරෝපීය ශ්‍රී ලංකා රූ රැජින’ ලෙස කිරුළු පැළඳ, ලංකාවට පැමිණි ඈ එවකට කියා සිටියේ ලංකාව වෙනුවෙන් එයාකාරයෙන් දායකත්වය සැපයීම තමන්ගේ යුතුකමක් වන බවත් රට නඟා සිටුවීමට කුමන ආකාරයකට හෝ තමන් දායකත්වය ලබාදිය යුතු බවයි.

ඇයට අනුව සැබෑ ලස්සන යනු, බාහිරව පෙනෙන දෙයක් පමණක් ම නොවේ.

හැසිරීම, සමාජයට දක්වන ගෞරවය යනාදි සියල්ල ඊට අයත් වේ.

අධ්‍යාපනයට මුල් තැන :

ඕනෑම අයෙකුට හිස පැළඳිය හැකි වටිනාම කිරුළ අධ්‍යාපනයයි.

ඒ අනුව සබීනා ද වැඩිපුරම ලැදියාවක් දක්වනුයේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනි.

නිරෝගී දිවිපෙවෙතක් පවත්වාගෙන යාමට කැපවෙන ඇය ව්‍යායාමවලට මුල්තැන දෙයි. ඒ අතර තමන්ට ලැබෙන විවේකය තුළ පවුලේ ආදරණීයන්, යහළු යෙහෙළියන් සමඟ ගත කිරීමට ඇය කැමතිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: