hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 03, ප.ව. 12:51



ලිංගික අපරාධකරුවකු ලෙස චෝදනා ලැබූ සහ බාල වයස්කාර ගැහැණු ළමුන් ජාවාරම් කළ අයකු ලෙස වරදකරු වූ ජෙෆ්රි එප්ස්ටීන් සමග ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ද සම්බන්ධයක් තිබී ඇතැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය චෝදනා කරනවා.

මේ සඳහා ඔවුන් උදාහරණය ලෙස ගෙන ඇත්තේ 2017 ජූලි මාසයේදී යබෝර් Y. නම් පුද්ගලයකු හා එප්ස්ටීන් අතර වූ ඊමේල් පණිවිඩ හුවමාරුවක තොරතුරුයි. මෙම පුද්ගලයා කවරකුදැ යි නිශ්චිත නැතත්, ඔහු කටාර් රාජ්‍යයෙහි අයකු බව හැඟවෙන කරුණු එම පණිවිඩවල හමුවනවා.

එහිදී මෝදි ඊශ්‍රායලයේ සංචාරය කිරීමට පෙර කිසියම් උපදෙසක් ලබාගත් බවත්, ඉන්පසු ඒ ආකාරයෙන් කටයුතු කළ බවත් එමගින් ජනාධිපති ට්‍රම්ප්ට වාසියක් සැලසුණ බවත් එප්ස්ටීන් කියා සිටිනවා.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ ඇමරිකානු ජනාධිපති වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්. මෝදි 2017 ජූනි 25-26 දිනවල ඇමරිකාවේ සංචාරය කරමින් ට්‍රම්ප් මුණගැසුණා. ඉන්පසු ජූලි 4-6 දිනවල ඔහු ඊශ්‍රායලයේ සංචාරය කළා.

කොන්ග්‍රස් පක්ෂය පවසන්නේ ඇමරිකානු සංචාරය අතරතුර මෝදි එප්ස්ටීන් ද හමුවන්නට ඇති බවයි. එප්ස්ටීන් කිනම් ආකාරයේ උපදෙසක් දුන්නේ ද​? ඊශ්‍රායලයේදී මෝදි කටයුතු කළේ කෙසේ ද​? එයින් ට්‍රම්ප්ට වාසියක් සිදුවූයේ කෙසේ ද​? යනුවෙන් කොන්ග්‍රස් පක්ෂය ප්‍රශ්න කරනවා.

මෙම පණිවිඩ මගින් මෝදි කිසියම් නීති විරෝධී ක්‍රියාවක නිරත වූ බවක් ඇඟවෙන්නේ නැහැ. එහෙත් මෙම ගනුදෙනුව කුමක්දැ යි හෙළිකරන ලෙස කොන්ග්‍රස් පක්ෂය කියා සිටිනවා.