hit counter

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි 26, පෙ.ව. 12:16



මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට මෙරටට උදර්පණය කිරීම (Extradition) සඳහා රජය මේ වන විට සක්‍රීය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, පුද්ගලයෙකු වෙනත් රටකින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සරල එකක් නොවන බවත්, ඒ සඳහා අනුගමනය කළ යුතු සංකීර්ණ නීතිමය පියවර පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අර්ජුන මහේන්ද්‍රන් ට එරෙහි නඩු කටයුතු ඔහු මෙරට නොසිටියද අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. ඒ වගේම ඔහුව හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් රජය විසින් සිදු කරමින් පවතිනවා. ඔහු මෙරට සිටියත් නැතත්, අධිකරණ ක්‍රියාවලිය නතර කරන්නේ නැහැ”

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කිසිදු පාර්ශ්වයකට නීතියෙන් මිදී යාමට ඉඩ නොතබන බවත්, වගකිව යුතු සෑම පුද්ගලයෙකුම අධිකරණය හමුවට පැමිණවීම රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: