hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 03, පෙ.ව. 12:20



උප්පැන්න සහතිකය නොමැති වීම දරුවකුගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට හේතුවක් නොවිය යුතු බැවින් මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් විය යුතු සියලුම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට කඩිනම් පියවර ගත යුතු යැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අවධාරණය කළාය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාතර දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටු රැස්වීමේදී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මාතර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත් වන දරුවන් පිරිසකට උප්පැන්න සහතික නොමැති වීමෙන් පාසල්ගත වීමේදී මතුව ඇති ගැටලුව පිළිබඳව මෙහිදී අවධානයට යොමු විය. ඒ ගැන ඇමැතිවරිය‍ විශේෂ අවධානයක් යොමු කළාය. ‍

එම දරුවන්ට උප්පැන්න සහතික ලබාදීම සඳහා ඒකාබද්ධ යන්ත්‍රණයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ඇය පැවසුවාය. ළමයින් සම්බන්ධ වැරදිවලට අධිකරණයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට, දරුවන් සම්බන්ධ රැකියා ක්ෂේත්‍රයන්හි නියැළීම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේදී ගන්නා බවද අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වන ලක්ෂ තුනකට ආසන්න ළමා ජනගහනයේ සුරක්ෂිතතාව සහ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම මෙම කමිටුවේ අරමුණයි. ළමා අපචාර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වළක්වා ගැනීම සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට දිස්ත්‍රික්කයක් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූ මෙම රැස්වීම, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා සංවර්ධන අංශය මඟින් සංවිධාන කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: