hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් 09, පෙ.ව. 12:03



ලෝක වෙළෙඳපොළේ දියර පෙට්‍රෝලියම් ගෑස් (LPG) මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට දේශීය ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට සිදුව ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

සෞදි අරාම්කෝ මිල දර්ශකයට සාපේක්ෂව ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම මෙම දේශීය මිල සංශෝධනයට ප්‍රධාන හේතුව බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

කෙසේ වෙතත්, මිල සංශෝධනය වුවද වත්මන් ආනයන ක්‍රමවේදය යටතේ මෙරට ගෑස් සැපයුම කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බවට ඔහු සහතික විය.

රජයේ නව ටෙන්ඩර් පටිපාටිය යටතේ මින් පෙර මැදපෙරදිග සැපයුම්කරුවන්ගෙන් ලබාගත් ගෑස් සැපයුම වෙනුවට දැන් ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් (80%) සහ දකුණු අප්‍රිකාවෙන් (20%) ගෑස් ආනයනය කරනු ලබයි.

මෙරට පවතින සීමිත ගබඩා ධාරිතාව හේතුවෙන් ආනයනික සහ මෙහෙයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ලංකාව තුළ ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම නිසා ආනයනය කරන ගෑස් තාවකාලිකව මාලදිවයිනේ ගබඩා කර, පසුව දින තුනකට වරක් කුඩා නෞකා මගින් මෙරටට ප්‍රවාහනය කිරීමට සිදුව ඇත. 

මෙම සංකීර්ණ සැපයුම් දාමය සඳහා වන අමතර පිරිවැය ද මිල ඉහළ යාමට තවත් බලපෑමක් වී තිබේ.

මිල ඉහළ ගියද සැපයුම් ජාලය ස්ථාවරව පවතින බව අවධාරණය කළ බලධාරීන්, අනාගතයේදී මෙවැනි අමතර පිරිවැය අවම කර ස්ථාවර සැපයුමක් සහතික කිරීම සඳහා මෙරට තුළම ස්ථිර ගබඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ප්‍රකාශ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: