hit counter

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 09, ප.ව. 2:47



2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට අද (අප්‍රේල් 9 වැනිදා) දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් සමග පෙනී සිටි නීතිඥ කාංචන පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ අතුරු ඉල්ලීම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදි.

ඒ අනුව වග උත්තරකරුවන්ගේ විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වැනිදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.