hit counter

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි 09, පෙ.ව. 12:08



ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක ප්‍රධාන නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, හුදෙක් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක්ද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවට මියගිය චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන බවයි.

සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ කපිල චන්ද්‍රසේන මහතා තම දිවුරුම් ප්‍රකාශය මගින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කර ඇති බවයි.

“කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ පුද්ගලයෙකුටත් මම කිව්වා මම කියන දේ කරන්න කියලා, ඔහු ඒක නොකළ නිසා ඔහුට සිද්ධ වුණේ එල්ලී මැරෙන්න.

ඒ නිසා මහා එකාගේ සහ පොඩි එකාගේ (මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ) නම් දෙක දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ ඒකම තමයි” යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර ඇති බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව කාරියවසම් මහතා අනාවරණය කළේය.

මෙහිදී සඳහන් කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුවට සම්බන්ධ සිසිර සිරිවර්ධන නැමැති පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඉතා දරුණු ලෙස තර්ජනයට ලක්වී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවද හෙතෙම සිහිපත් කළේය.

පිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අමතරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මියයාම, භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 800ක මුදලක් ඕස්ට්‍රේලියානු ගිණුමකට දැමීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පුද්ගලයා සැක සහිත ලෙස මියයාම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රථම පැමිණිල්ල කළ ඩෑන් ප්‍රියසාද් මහතා සැකකටයුතු ලෙස මියයාම අභිරහස් මරණ කිහිපයක් පිළිබඳව සාගර කාරියවසම් මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

කපිල චන්ද්‍රසේන මහතා බන්ධනාගාරගතව සිටියදී ඔහුට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම පිටුපසද යම් කුමන්ත්‍රණයක් පවතින බවට කාරියවසම් මහතා සැක පළ කරයි.

බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙකුට තනිවම ඇපකරුවන් සෙවිය නොහැකි බැවින්, එම ඇපකරුවන් හඳුන්වා දුන්නේ කවුද සහ ඒ පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව අධිකරණ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර වහාම විමර්ශනයක් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

මෙම ප්‍රකාශයන්හි වගකීම තමන් භාර ගන්නා බවත්, රටේ සිදුවන මෙම බරපතල තත්ත්වය පිළිබඳව ජනතාවට සත්‍යය හෙළි කළ යුතු බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: