hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2026 ජූනි 01, පෙ.ව. 11:21



ඊශ්‍රායල හමුදා දකුණුදිග ලෙබනනයෙහි බෝෆෝර්ට් බලකොටුව සහ එය පිහිටි බෝෆෝර්ට් කඳු පන්තිය අත්පත් කරගත් බව ඊයේ නිවේදනය කළා.

ලිටානි නදිය තරණය කරමින් ඔවුන් මෙම ප්‍රදේශය අල්ලාගැනීම සඳහා දින කිහිපයක මෙහෙයුමක නිරත වූ බවයි සඳහන් වූයේ.

ඊශ්‍රායලය විසින් මීට පෙර 1982 දී මෙම බලකොටුව අල්ලාගත් අතර 2000 වනතෙක් එහි ඊශ්‍රායල හමුදා කඳවුරක් පිහිටා තිබුණා. 2000 දී එම ස්ථානයෙන් ඊශ්‍රායලය ඉවත් වූ පසු ඔවුන් එම ස්ථානය අත්පත් කරගත් මුල්ම අවස්ථාව මෙයයි.

බෝෆෝර්ට් බලකොටුව 12 වන සියවස කුරුස යුධ වකවානුවේ ක්‍රිස්තියානි පාර්ශවය විසින් ඉදිකළ බලකොටුවක්. එය දැනට නටබුන්ව පවතිනවා. එහෙත් එය පිහිටි ස්ථානය හේතුවෙන් උපක්‍රමික වශයෙන් එය තවමත් වැදගත් වන ස්ථානයක්.

ඊශ්‍රායල දේශසීමාවේ සිට සැතපුම් 9 ක් පමණ ඈතින් පිහිටා ඇති බෝෆෝර්ට් බලකොටුව හිස්බුල්ලා සංවිධානය විසින් තමන් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගත් බව ඊශ්‍රායලය පවසනවා.

ඉරානය සහ ඇමරිකාව අතර එකඟතා ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවතෙන පසුබිමෙහි ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් දිගටම පවතිනවා. ඊශ්‍රායලය ලෙබනන රජය සමග අප්‍රේල් මාසයේදී සටන් විරාමයකට එළඹියා.