hit counter

2026 ජූනි මස 08 වන සඳුදා

2026 ජූනි 08, පෙ.ව. 12:15



පවතින ආණ්ඩුව බිඳවැටීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, ආණ්ඩුව බිඳවැටෙන්නේ නම් තමන් ඇතුළු පිරිස මෙලෙස නොසිටින බවත් ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු  සඳහන්  කළේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවකුට නොහැකි බවයි.

ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීමට විපක්ෂය උත්සාහ කළද, ඉන් අනතුරුව රට බාරගන්නේ කවුරුන්ද යන ගැටලුව පවතින බව ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වාදෙනවා.

ජී. එල්. පීරිස් මහතා පිළිබඳව මෙහිදී දැඩි විවේචනයක් එල්ල කළ ඩඩ්ලි සිරිසේන මහතා, වයස්ගත වී පාරේ නිසි ලෙස ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක පසුවන මෙවැනි දේශපාලනඥයන් දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව පැවසුවා.  

සාමාන්‍ය ස්වභාවය අනුව මහලු වියට පත් වූ විට සියලු දේ අත්හැරිය යුතු වුවද ඔවුන් තවමත් දේශපාලනයේ රැඳී සිටීමට උත්සාහ කරන බවත්, එබැවින් කරුණාකර නිවසට වී ලබන ආත්මය වෙනුවෙන් පිනක් දහමක් කරගෙන, තරුණ පරපුරට ආදර්ශමත් ලෙස ජීවත් වන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

එමෙන්ම තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිදු බලාපොරොත්තුවක් හෝ අවශ්‍යතාවක් නොමැති බව ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, තමන්ගේ සහෝදරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා  දැනටමත් රටේ ජනාධිපති ධුරය දරා ඇති බවත්, ඔහු තමන්ට හැකි උපරිමයෙන් රටේ වගකීම් ඉටුකළ බවයි.  

තවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා විවෘත වෙළඳපොළ ප්‍රතිපත්ති තමන් අනුමත කරන නමුත්, 2015 වසරේදී තමන් ඇතුළු පිරිස ජීවිත, දේපළ මෙන්ම දරුවන්ගේ අනාගතය පවා අවදානමක දමා සිදුකළ දේශපාලන සටන, මාස දෙකක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාවා දෙනු ලැබූ බවට ඩඩ්ලි සිරිසේන මහතා චෝදනා කළා.

ඔහු පවසන්නේ, තමන් කළ සටන හොරුන් ආරක්ෂා කිරීම සඳහා පාවිච්චි කිරීම පිළිබඳව දැඩි විරෝධයක් පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: