hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2026 ජූනි 17, ප.ව. 1:38



සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාලව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් ඒකකයට අද (17) නියෝග කළා.

මෙම මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (17) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පළ කළ බව එම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දැනුම් දුන්නා.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8 ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර, ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණා.

මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන රූමි ජවුෆර් නමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටත් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් මහේස්ත්‍රාත්වරයා wo (17) නියෝග කළා.

මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම සිද්ධියට අදාලව බී වාර්තාවේ දක්වා තිබෙන මූල්‍ය අධ්‍යක්ෂකවරයා සැකකරුවෙක් ලෙස නම් කරන්නේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා.

එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් තවම නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

එහිදි මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය අමතමින් මෙසේ දැනුම් දුන්නා.

“මෙම සිද්ධියට අදාළ තුන්වැනි සැකකරු වන කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ බී වාර්තාවේ නම්කර තිබෙන සැකකරු වන මූල්‍ය අධ්‍යක්ෂකවරයා යන දෙදෙනා සිද්ධියට අදාලව පළවැනි සහ තුන්වැනි වවුචර් අත්සන් කර ඇති බවත් නමුත් මෙම සිද්ධියට අදාලව මූල්‍ය අධ්‍යක්ෂකවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් තුන්වැනි සැකකරුට ඇප නියම කරනවා.”

ඒ අනුව මෙම නඩුවේ තුන්වැනි සැකකරු වන කළමනාකාර අධ්‍යක්ෂකවරයා රූමි ජවුෆර් නැමැත්තාට ඇප නියම වුණා.

සිද්ධියට අදාප නඩුව ලබන ඔක්තෝබර් 14 යළි කැදවීමට නියමිතයි.

සිද්ධියේ දෙවන සැකකරු වන එම කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වූ භාෂ්වර ගුණවර්ධන නමැත්තා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද ඉකුත් (10) වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: