hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:10



පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ විසින් අපරාධයක් සිදු කර ඇති බවට ඔප්පු වුවහොත් ඔහුට නිසැකයෙන්ම දඬුවම් ලබා දිය යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මෙරට ජීවත් වන ඕනෑම පුරවැසියකු රට තුළ පවත්නා නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතු බවයි.

 ලංකාව තුළ දූෂිත ජාලයක් පවතින බවත් එම දූෂිත ජාලය මෙහෙයවන්නේ රාජපක්ෂවරු බව ඒ මහතා කියා සිටියා.

සරත් ෆෝන්සේකා මහතා කියා සිටියේ රාජපක්ෂ කල්ලිය සමග ඔවුන්ට හිතෛෂී ජාවරම්කරුවන්, කොටිපති ව්‍යාපාරිකයින් සහ දූෂිත රාජ්‍ය සේවකයින් සිටින බවයි.

වර්තමාන රජය දූෂණයට විරුද්ධ බවත්, ආණ්ඩුව දූෂිත දේශපාලනඥයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බව ඒ මහතා ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ වත්මන්  සුන් බුන් විපක්ෂයට කිසි විටෙකත් රට තුළ බලය පිහිටුවීමට ඉඩ නොදිය යුතු බවයි.

එලෙස ඔවුන් නැවතත් බලයට පැමිණියහොත් රට දරුණු ආගාධයක් කරා ඇදී යාම වැළැක්විය නොහැකි බව ඒ මහතා අවධාරණය කළා.

වැඩිදුරටත් අදහස් පළකළ සරත් ෆොන්සේකා මහතා

“ දූෂිත දේශපාලනඥයෝ මේ රටට කරපු දේවල් අපි අමතක කරන්න හොඳ නෑ. ඒගොල්ලෝ මේ රට විනාශ කරපු ආකාරය අපි අපේ හිතේ මුල්ලක කොහේහරි තියාගෙන ඉන්න ඕනි. නැත්නම් අපිට ආපහු හිතෙන්න පුළුවන් මේ ආණ්ඩුවේ පොඩි පොඩි අඩුපාඩු දැක්කොත් ආපහු පරණ මිනිස්සුන්ටම මේක භාරදෙන්න හිතෙන්න පුළුවන්.

දූෂිත දේශපාලනඥයොත්, දූෂිත රජයේ සේවකයෝත් මේගොල්ලෝ එකතු වෙලා රාජ්‍ය සම්පත්, රටේ මුදල් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ සියල්ල හොරකම් කරපු නිසා ඒගොල්ලෝ කෝටිපතියෝ වගේ ඉතාම සැපපහසුකම් සහිතව ජීවත් වෙනවා. දැන් මේ දවස්වල සිද්ධ වෙන දේවල්වලින් පේනවා අපේ විදේශ විනිමයට මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොමද ඒවා බැංකුවල පස්සේ දොරින් එළියට ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ දවස්වල යම් යම් අවස්ථාවල අපිට දකින්න පුළුවන්.  

වර්තමාන රජය දූෂණයට විරුද්ධයි. දූෂිත දේශපාලනඥයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. මම විශ්වාස කරනවා මේ අවුරුදු 5 අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව පවතින්න ඕනි. හැබැයි ජනතාව කවද හරි වෙනසක් ඕනි කියලා තීරණය කළොත් දැන් තියෙන විපක්ෂයේ තියෙන සුන් බුන් විපක්ෂය කියලා ඒකට කියන්නේ ආදරේට. සුන් බුන් විපක්ෂයේ තියෙන පක්ෂ වලට ආණ්ඩු පිහිටවන්න දෙන්න බෑ. ඒගොල්ලෝ නැවතත් පරණ තැනටම රට ගෙනියනවා.

ඒගොල්ලෝ නැවතත් වගකීම් භාරගන්න පුළුවන් පිරිසක් නෙමෙයි. ඒ නායකයෝ විශේෂයෙන් ඒ පක්ෂවල ඉන්න ඒගොල්ලෝ දැන් එක්ස්පයර්. ඒගොල්ලෝ දිරච්ච ගස් වගේ. ඒවට වතුර දැම්මට ආපහු පැලවෙන්නේ නැහැ. මේ රටේ පවතිනව දූෂිත ජාලයක්. ඒ ජාලය මෙහෙයවන්නේ රාජපක්ෂවරු ඔවුන්ගේ හිතෛෂී ජාවාරම්කාරයෝ, ඔවුන්ට හිතෛෂී කෝටිපතියෝ, ඔවුන්ට ශක්තියක් වෙලා ඉන්න නොයෙක් නොයෙක් රජයේ සේවකයෝ. ඒක හන්දා තමයි දැනුත් ඔය හිටපු ගමන් අහුවෙන්නේ එක එක තැන්වල සල්ලි පන්නන ඒවා, හොරකම් කරන ඒවා වගකිව යුතු නිලධාරීන්, බැංකුවල මැනේජර්ලා මේ ඔක්කොම අර ජාලයට එකතු වෙලා ජාලයෙන් වරප්‍රසාද ලබාගත්ත පිරිස.

ඊළඟට රණවිරු ගාය නැවතත් එනවා. ඊළඟට ආගම් ගැන මේ දවස්වල කෑ ගහනවා. මම විශ්වාස කරනවා රණවිරුවන්ට සලකපු හැටි තමුන්නාන්සේලා දන්නවා. අපි විශ්වාස කරනවා කවුරු වුණත් වරදක් කළා නම් රටේ නීතියට අහුවෙන්න ඕනි. සලේට කියලා වෙනම් නීතියක් තියෙන්න බෑ. වැරදි කරලා තියෙනවා නම් හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. අර කතාවක් තියෙන්නේ කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියලා කතාවක් තියෙන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: