hit counter

2026 ජූනි මස 22 වන සඳුදා

2026 ජූනි 22, පෙ.ව. 11:03



ඇමරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර ඊයේ ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් හිදී සිදුවූ සුරික් විලෙහි සමුළුව තුළදී කිසියම් ප්‍රගතියක් අත්වූ බව එහි මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය පවසනවා.

ඇමරිකාව නියෝජනය කරමින් උප ජනාධිපති ජේ. ඩී. වාන්ස් ප්‍රමුඛ දූත කණ්ඩායමක් මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ අතර ඉරානයෙන් විදේශ ඇමති අබ්බාස් අරාග්චි ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව සිටියා.

මෙම සාකච්ඡා අතරතුරදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන​, හොර්මුස් සමුද්‍ර සන්ධිය සහ ලෙබනනයේ ගැටුම් පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබුණා.

ලෙබනන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව ඉතා ආතතිමය වූ බවයි මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර තිබුණේ. ඊශ්‍රායලය විසින් ලෙබනනයේ එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම බිඳවැටුණ බව චෝදනා කළ ඉරානය, හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමන බව ප්‍රකාශ කළේ ජූනි 20 වනදා යි. කෙසේ වෙතත් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය තවමත් සිදුවෙමින් පවතිනවා.

ඇමරිකා – ඉරාන සාකච්ඡාවලදී ඉදිරි කටයුතු සඳහා ඉහළ පෙළේ කමිටුවක් පිහිටුවීමටත්, ඉදිරි සාකච්ඡා සිදුවිය යුතු ආකාරය පිළිබඳ දළ සැලැස්මකට එකඟවීමටත්, හොර්මුස් සමුද්‍ර සන්ධියෙහි තත්ත්වය සන්නිවේදනය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමටත්, ලෙබනනයේ තත්ත්වය පාලනයට පියවර ගැනීමටත් එකඟ වූයේ යැයි මැදිහත්කරුවන් සඳහන් කරනවා.

ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබුණේ ලෙබනනයේ තත්ත්වය පාලනය කිරීම නුදුරේදී තිබෙන ප්‍රධානම අභියෝගය බවයි. එහිදී හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ තවමත් ගැටුම් වාර්තා වනවා.