hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2026 ජූනි 27, ප.ව. 6:01



සිය සැමියා වන සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන සිදු කරන ලෙසත් නමුත් වහාම ඔහුව රක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවන ලෙසත්  සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසනවා.

සිය සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ඔහු දැනට පසුවන්නේ ඉතාමත් අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයක බවයි.

සුරේෂ් සලේ මහතාට අද (27) පෙරවරුවේ පපුවේ හටගත් වේදනාවක් වැළඳීම හේතුවෙන් ඔහුව හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව ඇය එහිදී සඳහන් කළා.

එහිදී වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද විශේෂ පරීක්ෂණවලින් පසුව ඔහුට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අධි අවදානම් ගණයට ඇතුළත් කර ඇති බවත් ඕනෑම මොහොතක ඔහුට නැවත පපුවේ වේදනාවක් වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බැවින් වෛද්‍යවරුන් මේ වන විට ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඇය පවසනවා.

අදාළ අමාත්‍යවරුන් පිටතින් කුමන ප්‍රකාශ සිදු කළත් සුරේෂ් සලේ මහතාගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මැනවින් දන්නේ රෝහල ඇතුළත සිටින වෛද්‍යවරුන් පමණක් බව පැවසූ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ පවසන්නේ, ඔහු දිනෙන් දින විවිධ සංකූලතාවලට මුහුණ දෙන බැවින් බලධාරීන් මේ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවයි.

එසේ නොමැතිව බලධාරීන් බලා සිටින්නේ ඔහු මියයන තුරුදැයි ඇය එහිදී විමසා සිටියා.

එමෙන්ම තමන් කිසිසේත්ම ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන හෝ පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත් ඕනෑම පරීක්ෂණයක් දිගටම කරගෙන යන ලෙසත් ඇය අවධාරණය කළා.

පසුගිය බදාදා දින සුරේෂ් සලේ මහතා විසින් සිය අත් අකුරින්ම ලිඛිත ප්‍රකාශයක් සිදු කරමින් තමන්ට කිසියම් හෝ අනතුරක් හෝ ජීවිත හානියක් සිදු වුවහොත් ඒ සඳහා වත්මන් ජනාධිපතිවරයා මෙන්ම රවී සහ ශානි ඇතුළු තවත් කිහිපදෙනෙකු සෘජුවම වගකිව යුතු බවට ඇය පවසනවා.

එබැවින් වගකිවයුතු බලධාරීන් වශයෙන් වහාම ක්‍රියාත්මක වී ඔහු මුහුණ දෙන සංකූලතාවලට පිළියම් යෙදිය යුතු බවත් මෙම අවදානම් තත්ත්වය මධ්‍යයේ වුවද ඔහු සිය උපවාසය අතහැරීමට සූදානම් නොමැති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: