hit counter

2026 ජූලි මස 08 වන බදාදා

2026 ජූලි 08, පෙ.ව. 10:32



මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් විශාල පිරිසක් මියයාම වත්මන් රජයේ පැහැදිලි අසාර්ථකත්වයක් බවත්, මෙය රජය මුහුණ දෙන බරපතළ අභියෝගයක් බවත් ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.

කොළඹදී පැවති ජන බලය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා පෙන්වා දුන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි අසහනකාරී තත්ත්වය හමුවේ මෙවැනි සිදුවීමක් ඕනෑම මොහොතක බලාපොරොත්තු විය හැකිව තිබූ බවයි.

“මේ ආණ්ඩුවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණය පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙළක් හෝ ප්‍රවේශයක් තිබුණේ නැහැ. බන්ධනාගාර පද්ධතියේ පවතින අසතුටුදායක තත්ත්වය ගැන අවබෝධයක් තිබියදීත්, එය රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව මේ තත්ත්වය කලින් බලාපොරොත්තු වී එය වැළැක්වීමට පියවර ගත්තේ නැහැ,” යැයි ඔහු පැවසීය.

රජය ක්‍රියාත්මක කරන මෙහෙයුම් හරහා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට උත්සාහ කළ ද, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය තොරව එය සාර්ථක කරගත නොහැකි බව ඔහු අවධාරණය කළේය.

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දූෂිත ක්‍රියාවලට බන්ධනාගාර නිලධාරී තන්ත්‍රයේ සහයෝගය ද ලැබෙන බවත්, මෙය හුදෙක් රැඳවියන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත පද්ධතියේම බිඳවැටීමක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා සමඟ ද බද්ධ වී පවතින බව ආචාර්යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. පාසල් පද්ධතියෙන් අතරමග ගිලිහෙන පිරිස් පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට යොමුවීම වැළැක්වීමට රජය අපොහොසත් වී ඇති බවත්, බන්ධනාගාර අර්බුදයට විසඳුම් සෙවීමේදී මෙම සමාජීය සාධක ද සැලකිල්ලට ගත යුතු බවත් ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා මෙම සිදුවීමේ වගකීම භාරගන්නා බව පැවසීමෙන් පමණක් ප්‍රශ්නය අවසන් නොවන බවත්, ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිසංස්කරණවාදී න්‍යාය පත්‍රයක් නොමැති බව මෙම සිදුවීමෙන් තහවුරු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි දෑ තාවකාලික දේශපාලන වාසි සඳහා යොදාගන්නවා වෙනුවට, මෙවැනි බරපතළ සමාජීය අර්බුද විසඳීමට රජය වහාම මැදිහත් විය යුතු බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: