hit counter

2026 අගෝස්‍තු මස 20 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 20, පෙ.ව. 12:15



ගොවීන් මුහුණ දෙන ගැටලු සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කළේ ගොවියාගේ ආදායම වැඩිකිරීම සඳහා පවතින එකම විසඳුම අක්කරයකින් ලබාගන්නා අස්වනු ප්‍රමාණය ඉහළ නැංවීම බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වලව කලාපයේ ඇතැම් ගොවීන් අක්කරයකට වී බුසල් 240ක් වැනි ඉහළ අස්වැන්නක් ලබාගන්නා බවයි.

එවැනි ඉහළ අස්වැන්නක් ලබාගන්නා ගොවියෙකුට දැනට පවතින වී මිල ප්‍රමාණවත් වුවද, අක්කරයකට බුසල් 80ක් වැනි අඩු අස්වැන්නක් ලබාගන්නා ගොවියෙකුට එම මිල ප්‍රමාණවත් නොවන බව ඔහු සඳහන් කළේය.

අස්වැන්න වැඩි වන විට කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අඩු වන බැවින් ගොවියාට වැඩි ලාභයක් ඉතිරි වන බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

රටේ බඩඉරිඟු අවශ්‍යතාව පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් වුවද, දැනට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් පමණක් බවයි.

මෙම හිඟය පියවා ගැනීම සඳහා සුළු වාරිමාර්ග පද්ධති යටතේ පවතින කුඹුරු ඉඩම්වල වී වගාව වෙනුවට බඩඉරිඟු වගා කිරීමට ගොවීන් උනන්දු කරවන බවත්, මහා පරිමාණ වාරිමාර්ග සහ මහවැලි කලාප තුළ වී වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හුදෙක් පුරන් කුඹුරු අස්වැද්දීම යන සංකල්පයෙන් ඔබ්බට ගොස්, පවතින ඉඩම් ප්‍රමාණය තුළ උපරිම අස්වැන්නක් ලබාගත හැකි උපායමාර්ගික වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා මෙහිදී අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: