hit counter

2026 ඔක්‍තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13



කතෘ භාග ගැන ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් ලියයි,

”කර්තෘභාග ලැබිය යුතුයි. ඒ සඳහා ජනතාවගේ විශ්වාසය දිනාගත් ක්‍රමවේදයකුත් තිබිය යුතුයි.

ACPOSL සහ කර්තෘභාග ගෙවීම් පිළිබඳව මේ දිනවල ඇති සංවාදය ගැන, කලාකරුවෙකු ලෙසත් මේ රටේ පුරවැසියෙකු ලෙසත් මගේ අදහස බෙදාගන්න කැමතියි.

මුලින්ම මගේ ස්ථාවරය පැහැදිලි කරන්න ඕනෑ. ගීතයක පද රචකයාට, තනු නිර්මාණකරුවාට සහ අදාළ හිමිකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ භාවිතය වෙනුවෙන් සාධාරණ ප්‍රතිලාභ ලැබිය යුතුයි. ඒ පිළිබඳව මට විවාදයක් නැහැ. මගේ ප්‍රශ්නය තිබෙන්නේ ඒ අරමුණ ක්‍රියාත්මක කරන ආකාරය ගැනයි.

කර්තෘභාග කියන්නේ අලුත් මාතෘකාවක් නෙමෙයි. කොවිඩ් වසංගතය සමඟ අපේ ක්ෂේත්‍රය දැඩි අසීරුතාවකට පත්වුණු කාලයේදීත්, සංගීත අයිතිවාසිකම් සහ කලාකරුවන්ගේ ආදායම් සුරක්ෂිත කිරීම ගැන අපි පිරිසක් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලට මමත් සහභාගි වුණා. ඒ නිසා මේ ගැන කතා කරන්නේ අද සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති වූ නිසා පමණක් නෙමෙයි.

මේ කටයුත්ත ඉදිරියට ගෙනයන්න කාලයත් ශ්‍රමයත් කැප කළ සියලු දෙනාගේ දායකත්වය මම අගය කරනවා. ඒ අතරම, හොඳ අරමුණකින් ආරම්භ කළ කටයුත්තක් වුණත් එහි ක්‍රමවේදය ගැන ප්‍රශ්න අහන්න පුළුවන් විය යුතුයි. එහෙම ප්‍රශ්න ඇසීම නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම්වලට විරුද්ධ වීමක් නෙමෙයි.

මම එදා සිටම වැදගත් යැයි සිතූ කරුණක් තමයි මේ වැඩේට විවිධ පරපුරුවල සහ විවිධ ක්ෂේත්‍රවල දැනුම එකතු කරගැනීම. ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් වගේම, තරුණ පරපුරේ තාක්ෂණික දැනුමත්, නව සංගීත වෙළෙඳපොළ පිළිබඳ අවබෝධයත් අවශ්‍යයි. ඒ සමඟ ගායකයන්, වාදකයන්, ගීත රචකයන්, නිර්මාණකරුවන්, ප්‍රකාශකයන්, DJs, හෝටල් සහ උත්සව සංවිධායකයන්ගේ ප්‍රායෝගික අත්දැකීම්ද වැදගත්.

මගේ අත්දැකීම අනුව, අප මතු කළ ඇතැම් අදහස්වලට ප්‍රමාණවත් අවධානයක් ලැබුණේ නැහැ. ඒ ගැන අද කතා කරන්නේ “අපි එදා කිව්වානේ” කියන්න නෙමෙයි. තවමත් ඒ දැනුම එකතු කරගෙන වැඩේ නිවැරදි කරගන්න අවස්ථාව තිබෙන නිසයි.

මෙතැන අපි පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා.

කර්තෘභාග ලැබෙන්නේ කාටද කියන ප්‍රශ්නයට වගේම, ඒ මුදල ගෙවන්නේ කවුද සහ එහි සැබෑ ආර්ථික බර වැටෙන්නේ කාටද කියන ප්‍රශ්නයටත් පිළිතුරු අවශ්‍යයි.

උත්සව සංවිධායකයාගෙන් ගාස්තුවක් අය කළත්, එම වියදම ප්‍රවේශපත්‍ර මිලට, විවාහ උත්සවයක වියදමට හෝ පාරිභෝගිකයා ගෙවන මිලට එකතු විය හැකියි.

සමහර අවස්ථාවල සංවිධායකයා එය තම ලාභයෙන් දරාගනීවි. තවත් අවස්ථාවක සංගීත කණ්ඩායමට හෝ වෙනත් සේවාවකට වෙන් කරන මුදල අඩු වේවි.

ඒ නිසා “ගෙවන්නේ සංවිධායකයානේ” කියන පිළිතුරෙන් පමණක් මේ සංවාදය අවසන් කරන්න බැහැ. අලුත් ගාස්තුවක් සමස්ත ක්ෂේත්‍රයට බලපාන්නේ කොහොමද කියන එකත් සලකා බලන්න ඕනෑ.

ගාස්තුවක් අය කිරීමේ අරමුණ සාධාරණ වීමත්, අය කරන මුදල සහ ක්‍රමවේදය සාධාරණ වීමත් වෙන වෙනම පැහැදිලි කළ යුතු කරුණු දෙකක්.

ඒ නිසා ACPOSL වෙතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නවලට පැහැදිලි, ප්‍රසිද්ධ පිළිතුරුයි.

• ගාස්තු තීරණය කළ පදනම කුමක්ද? උත්සවයේ ප්‍රමාණය, ආදායම සහ සංගීතය භාවිත කරන ආකාරය එයට බලපාන්නේ කොහොමද?

• ACPOSL නියෝජනය කරන ගීත සහ අයිතිවාසිකම් මොනවාද කියලා ගෙවන පාර්ශ්වයට දැනගන්න පුළුවන් කොහොමද?

• එක් එක් උත්සවයේ භාවිත කළ ගීත හඳුනාගෙන, ඒවායේ අදාළ හිමිකරුවන්ට මුදල් වෙන් කරන්නේ කොහොමද?

• එකතු කරන මුදලින් පරිපාලන වියදම් සඳහා කොපමණ ප්‍රමාණයක් වැය වෙනවාද? හිමිකරුවන්ට බෙදාදෙන්නේ කොපමණද සහ කවදාද?

• මුදල් එකතු කිරීම සහ බෙදාහැරීම පිළිබඳ විගණනය, වාර්තාකරණය සහ පැමිණිලි විසඳීම සිදුවන්නේ කොහොමද?

මේවා අහන්නේ කාටවත් චෝදනා කරන්න නෙමෙයි. මේවාට පැහැදිලි පිළිතුරු තිබෙන තරමට සංවිධානය කෙරෙහි විශ්වාසයත් වැඩි වෙනවා.

මහජනතාවගෙන් මුදලක් ගෙවීමට බලාපොරොත්තු වෙනවා නම්, ඔවුන්ට එය කුමක් වෙනුවෙන්ද කියලා තේරුම් ගැනීමටත්, සාධාරණ ප්‍රශ්න ඇසීමටත් අවස්ථාව තිබිය යුතුයි. එමෙන්ම වැරදි තොරතුරු මත නිර්මාණකරුවන්ට පහර දීමත් සාධාරණ නැහැ. දෙපාර්ශ්වය අතර අවබෝධයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.

මාධ්‍ය හමු පැවැත්වීමත් මහජනතාව දැනුවත් කිරීමත් වැදගත්. නමුත් ඒ සමඟ සරලව කියවා තේරුම්ගත හැකි ලිඛිත ක්‍රමවේදයක්, පැහැදිලි ගාස්තු පදනමක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ප්‍රකාශ වෙනස් වන විට වෙනස් වුණේ කුමක්ද, කවදා සිටද සහ කාටද අදාළ වෙන්නේ කියන දේත් පැහැදිලිව දැනුම් දිය යුතුයි.

ලෝකයේ වෙනත් රටවල කර්තෘභාග එකතු කරන සහ බෙදාහරින ක්‍රම තිබෙනවා. ඒවායේ සාර්ථක අත්දැකීම්වලින් ඉගෙනගෙන, අපේ රටේ ආර්ථික තත්ත්වයට සහ සංගීත ක්ෂේත්‍රයට ගැළපෙන ලෙස යොදාගන්න පුළුවන්. සෑම දෙයක්ම මුල සිට අලුතින් හදන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තැන්වල විශේෂඥ දැනුම ලබාගැනීමත් දුර්වලකමක් නෙමෙයි.

අද තාක්ෂණය යොදාගෙන ගීත භාවිතය වාර්තා කිරීම, හිමිකම් තොරතුරු පවත්වාගෙන යාම, ගෙවීම් කළමනාකරණය කිරීම සහ හිමිකරුවන්ට තමන්ගේ ආදායම පිළිබඳ තොරතුරු ලබාදීම වඩාත් පහසු කළ හැකියි. ඒ සඳහා දැනුම ඇති පිරිසට වයස හෝ තනතුර නොබලා ඉඩ දිය යුතුයි.

මෙය ACPOSL හෝ එහි කිසිවෙකු සමඟ ඇති පෞද්ගලික අමනාපයක් නිසා ලියන සටහනක් නෙමෙයි. මේ ක්‍රමය සාර්ථක වීම අපේ ක්ෂේත්‍රයට වැදගත් නිසා ලියන සටහනක්.

මම කැමති නිර්මාණකරුවාට තමන්ට හිමි ප්‍රතිලාභ ලැබෙන, ගෙවන පාර්ශ්වයට තමන් ගෙවන්නේ කුමක් සඳහාද කියලා තේරෙන, සියලු දෙනාට විශ්වාස කළ හැකි ක්‍රමයක් දකින්නයි.

ඒ සඳහා අවශ්‍ය සංවාදයකට මගේ අත්දැකීම් සහ අදහස් ලබාදෙන්න මම සූදානම්.

නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, ජනතාවගේ විශ්වාසය රැකගැනීමත් එකට කළ හැකියි. අපි ගොඩනැගිය යුත්තේ ඒ දෙකම ඉටුවන ක්‍රමවේදයක්.

දුෂ්යන්ත් වීරමන්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: