hit counter

2026 ඔක්‍තෝබර් මස 09 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 09, පෙ.ව. 9:20



 එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා සිදුකිරීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාව දැඩි ප්‍රමෝදයට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ, පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන් සිරගත කිරීම සම්බන්ධයෙන් විදෙස්ගත ඩයස්පෝරාව සතුටු වන බවයි.

එමෙන්ම තවමත් ඉතිරිව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස මන්ත්‍රීවරයා රජයට ඉල්ලීමක් කළේය. එසේ සිදුකළහොත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරේ ඡන්ද ලබාගැනීමට රජයට පහසු වනු ඇතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, මෙය රජය විසින් ගෙන යන දේශපාලන දඩයමක් හා Double game බවත්, පුද්ගලිකව තමන් මෙවැනි ක්‍රියාවන් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

උතුරේ සැබෑ දූෂණ හා වංචා පිළිබඳ විගණන වාර්තා කිහිපයක්ම බලධාරීන්ට භාරදුන්න ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව සිටින බවට ද ඔහු චෝදනා කළේය. විශේෂයෙන් උතුරු පළාතේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා යැයි පවසමින් පැය කිහිපයකට රුපියල් මිලියන 14ක් වැනි මුදලක් වියදම් කර ඇති නමුත්, අනෙක් පසින් බාර් බලපත්‍ර විශාල වශයෙන් බෙදාහරිමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා බාර් බලපත්‍ර ලබාගත් බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගන්නා බවට ප්‍රකාශ කළ ද, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදු වූ ක්‍රියාදාමයන් හෙළිදරව් වේ යැයි බියෙන් ඔහු සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක නොකරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙවැනි ක්‍රියාකලාපයන් හරහා ජනතාව මුළා කිරීමට ආණ්ඩුව උත්සාහ කළ ද, මහජනතාව මේ වන විට සියලු තත්ත්වයන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බව ද අර්චුනා රාමනාදන් මහතා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: