hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:34



ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ග්‍යානේෂ් කුමාර්ට එරෙහිව එරට ක්‍රියාත්මක තරුණ දේශපාලන ව්‍යාපාරයක් වන කැරපොතු ජනතා පක්ෂය විසින් දියත් කරන විරෝධතාවයක් අද නව දිල්ලියේ ජන්තර් මන්තර් හිදී සංවිධානය කර තිබෙනවා.

මෙම විරෝධතාවය පාලනය සඳහා දිල්ලි පොලිසිය මෙන්ම මධ්‍යම සංචිත පොලිස් බලකාය ද ඇතුලත්ව 38,000 ක පමණ පොලිස් බලකා කැඳවා ඇතැයි සඳහන් ව තිබුණා.

පසුගියදා සිදුකෙරුණු ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී අක්‍රමිකතා සිදු කළේ යැයි ග්‍යානේෂ් කුමාර් චෝදනාවට ලක්ව සිටිනවා.

පසුගිය දිනවල ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ද ග්‍යානේෂ් කුමාර් ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් විරෝධතා පැවැත්වූවා.

කැරපොතු ජනතා පක්ෂය ද ඔක්තෝබර් 8 වනදා බැංගලෝරයෙහි විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

එම පක්ෂය චෝදනා නගන්නේ විරෝධතාවය සඳහා නගරාන්තර දුම්රිය මගින් දිල්ලිය වෙත පැමිණෙමින් සිටි තම ක්‍රියාකාරීන් සමහරෙක් අතරමගදී පොලිසිය විසින් රඳවාගෙන ඇති බවයි.

තවද අද උදෑසන ද උද්ඝෝෂණයන්ට පැමිණි සමහරුන් ජන්තර් මන්තර් ප්‍රදේශයට යෑමට උත්සාහ කරද්දී පොලිසිය විසින් රඳවාගෙන තිබෙනවා. එමෙන්ම එම ප්‍රදේශයේ අන්තර්ජාල පහසුකම් ද අවහිර කර ඇති බව වාර්තා වුණා.

දිල්ලියේ මෙට්‍රො ස්ථාන 57 ක් වසා දමා ඇති අතර ඇතැම් බස් රථ ද ධාවනය වන්නේ නැහැ.