hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2026 ඔක්‍තෝබර් 14, ප.ව. 4:50



වසර ගණනාවක් පුරා මහජන ආධාරයෙන් ඉදිකළ වැවක බැම්මේ සංවර්ධන කටයුතු අතරමග නවතා දමමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා තමන් වහන්සේට දුරකථනයෙන් තර්ජනය කළ බව මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ චෝදනා කරති.

පවතින අධික වර්ෂාව මධ්‍යයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ, වැව් බැම්මේ සංවර්ධන කටයුතු භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මැදිහත්වීමෙන් අත්හිටුවීම හේතුවෙන් පහළ පිහිටි ගම්මානය දැඩි ජල ගැලීම් අවදානමකට මුහුණ පා ඇති බවයි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේද සඳහන් කළහ.

“මෙම වැවේ සංවර්ධන කටයුතු සිදු කළේ පසුගිය වසර හත අටක කාලයක් පුරා අහිංසක ජනතාවගෙන් එකතු කරගත් ආධාරවලින්. මේ වන විට ඇදහැලෙන මහ වැස්ස නිසා කපා ඇති පස් කන්ද සේදී ගොස් වැවට පිරෙනවා. වැව් බැම්මේ වැඩ අවසන් කරගැනීමට ඉඩ නොදීම නිසා වැව පිරී පිටාර ගැලුවහොත් පහළ ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාදී තිබියදී, සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ නිලධාරීන් සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මේ වැඩකටයුතු නතර කර තිබෙනවා. සුනිල් හඳුන්නෙත්ති මට දුරකථනයෙන් කතා කරලා තර්ජනය කළා. ෆේස්බුක් දාලා අවසර ගන්න බෑ, නීතියට අනුව කරන්න ඕන කියලා මැසේජ් එවලා තිබුණා.

මේ වැව හදන්නේ මගේ පෞද්ගලික ප්‍රයෝජනයට නෙවෙයි, මේ රටේ සතුන්ට සහ අනාගත පරපුරට ජලය රැකදෙන්නයි. මේ මහ වැස්සේ වැව කැඩී ගියහොත් සිදුවන විනාශයට වගකියන්නේ කවුද?”

නීත්‍යානුකූල අවසර ලබාගැනීමකින් තොරව මෙම කටයුතු සිදුකරන බව පවසමින් බලධාරීන් වැඩ අත්හිටුවා ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, මෙවැනි ජනහිතකාමී සංවර්ධන ව්‍යාපෘති දේශපාලන අවශ්‍යතා මත කඩාකප්පල් නොකර කඩිනමින් වැව් බැම්මේ ආරක්ෂිත කටයුතු අවසන් කිරීමට ඉඩ ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: