hit counter

2026 සැප්‍තැම්‍බර් මස 11 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:02



මඩකලපුව, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයට ඇතුළු වී එහි රාජකාරියේ නියුතු රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මෙසේ ඇප මත මුදා හැර ඇත.

පසුගිය අගෝස්තු 31 වනදා මඩකලපුව, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයට තවත් පුද්ගලයින් සිව්දෙනෙකු සමග ඇතුළු වූ සුමනරත්න හිමියන්, එහි සිටි රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කළ බවට අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය සඳුදා (07) මඩකලපුව පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී, මඩකලපුව මහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකුද අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සුමනරත්න හිමියන්ට ඇප ලබා දෙමින් දැඩි කොන්දේසි පැනවූවාය.

ඒ අනුව මින් ඉදිරියට කිසිදු රජයේ දෙපාර්තමේන්තුවකට හෝ කාර්යාලයකට ඇතුළු වී මෙලෙස තර්ජනය කිරීම් නොකළ යුතුය.

මෙම නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ තර්ජනයක් නොකළ යුතු බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධියට සම්බන්ධ වී දැනට ප්‍රදේශයෙන් පලාගොස් සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බව අදාළ කොන්දේසිවල දැක්වේ.

මෙම කොන්දේසි කඩකරනු ලැබුවහොත් ලබාදුන් ඇප අවලංගු කර නඩුව අවසන් වන තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී අනතුරු ඇඟවීය.

එමෙන්ම, අද දින අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන 18 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඊළඟ නඩු වාරය සඳහා සැකකරුවන්ට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: