2026 ඔක්තෝබර් 20, පෙ.ව. 10:49
ඉකුත් 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමට සැබෑ හේතුව නොරොච්චෝල බලාගාරයේ භාවිත කළ ප්රමිතියෙන් තොර බාල ගල්අඟුරු බවත්, බලාගාරය අක්රිය වීමෙන් පසු හදිසි විදුලි උත්පාදනය වෙනුවෙන් පෞද්ගලික ඩීසල් බලාගාර වෙත දිනකට රුපියල් බිලියන 1.3ක් බැගින් අමතර මුදලක් ගලා යන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා අනාවරණය කළේය.
හිරු නාලිකාවේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව සඳහන් කළේය.
විදුලි බිඳවැටීමට ඉහළ කොත්මලේ බලාගාරයේ දෝෂයක් හේතු වූ බවට අමාත්යවරයා කළ ප්රකාශය සම්පූර්ණයෙන්ම අසත්යයක් බව පෙන්වා දුන් මන්ත්රීවරයා, ඉහළ කොත්මලේ බලාගාරයේ බිඳවැටීම සිදුවූයේ ඊට පෙර දින දහවල් කාලයේ බවත්, 17 වැනිදා දිවයින පුරා සිදුවූ මහා විදුලි බිඳවැටීමට එමඟින් කිසිදු බලපෑමක් එල්ල නොවූ බවත් අවධාරණය කළේය.
ජාතික විදුලිබල පද්ධතියේ සම්මත ක්රමවේදයට අනුව, මෙගාවොට් 2,800ක ඉල්ලුමක් පවතින අවස්ථාවක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පාලනය කරගැනීම සඳහා 10%ක එනම් මෙගාවොට් 280ක අතිරේක ධාරිතාවක් ක්ෂණිකව ක්රියාත්මක වන පරිදි සූදානම්ව තබාගත යුතු බව මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, නොරොච්චෝල බලාගාරයේ පළමු ජනක යන්ත්රයේ ධාරිතාව මෙගාවොට් 178 සිට 5 දක්වා ක්ෂණිකව පහත වැටෙද්දීත්, ජාතික පද්ධති පාලන මධ්යස්ථානය සතුව එවැනි කිසිදු සංචිතයක් නොතිබූ බවට ඔහු චෝදනා කළේය. එම මෙගාවොට් 280ක සංචිතය නිසි පරිදි ක්රියාත්මක වූයේ නම්, පළමු යන්ත්රය අක්රිය වුවද සමස්ත පද්ධතියම සම්පූර්ණයෙන් බිඳවැටීම වැළැක්වීමට ඉඩකඩ තිබූ බව මන්ත්රීවරයා සඳහන් කළේය.
නොරොච්චෝල බලාගාරය අක්රිය වීමට ප්රධානතම හේතුව බාල ගල්අඟුරු දහනය වීම නිසා බොයිලේරුවේ ඩ්රම් එක තුළ අධික පීඩනයක් හටගෙන එහි ඇති ඩයෆ්රම් එක පිපිරී යාම බව ඩී. වී. චානක මහතා මෙහිදී විස්තර කළේය.
“බාල ගල්අඟුරු නිසා දිනපතාම අධික ලෙස අළු එකතු වෙනවා. ඉංජිනේරුවරුන්ට සහ සේවකයන්ට සිදුවුණේ අළු අස්කර කර ඉන්න මිසක් නිසි නඩත්තු කටයුතු කරන්න නෙවෙයි. අවසානයේ පීඩනය දරාගන්න බැරුව ඩයෆ්රම් එක පුපුරා ගියා. මේ ක්රමය නැවත යථා තත්ත්වයට පත් කරන්න නම් පද්ධතිය සිසිල් වෙන්න දින 5ත් 7ත් අතර කාලයක් යනවා. නොරොච්චෝල මෙගාවොට් 810ම අහිමි වෙලා තියෙන්නේ මේ නිසයි.” යැයි මන්ත්රීවරයා ප්රකාශ කළේය.
නොරොච්චෝල බලාගාරය අක්රිය වීමෙන් මතුවූ විදුලි හිඟය පියවා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය ඩීසල් බලාගාර වෙත යොමුවීම පිටුපස දැවැන්ත ව්යාපාරික ජාවාරමක් පවතින බව පෙන්වා දුන් මන්ත්රීවරයා, ඩීසල් මඟින් විදුලිය උත්පාදනය කිරීම වෙනුවෙන් එක් දිනකට රුපියල් බිලියන 1.3ක් බැගින් අමතර මුදලක් රජයට වැය කිරීමට සිදුවන බව පැවසීය. විදුලිය විසන්ධි වීමෙන් පීඩාවට පත් ජනතාවගේ මුදල් මෙලෙස පුද්ගලික ඩීසල් බලාගාර හිමියන් අතට පත්වන බවද ඔහු චෝදනා කළේය.
මෙම බිඳවැටීම පිළිබඳව සත්ය තොරතුරු අනාවරණය කරගැනීමට මාසයක කාලයක් අවශ්ය බව පවසමින් රජය කාලය මරමින් සිටින බවත්, පාලකයන් විසින් රට හමුවේ සත්ය සඟවමින් විවිධ පරස්පර ප්රකාශ සිදුකරන බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 10:41
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 10:05
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 9:48
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:19
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26