hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:10



ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව වර්තමාන ආණ්ඩුවට පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥාණසාර හිමියන්ට සමාව ලබා දී තිබුණද, එම ක්‍රියාවලියේ පැවති අඩුපාඩුවක් හේතුවෙන් උන්වහන්සේට නැවතත් සිරගත වීමට සිදුවූ බව ඔහු සඳහන් කළා.

එම ක්‍රියාවලියේ අඩුපාඩුව වර්තමාන ජනාධිපතිවරයාට පහසුවෙන් නිවැරදි කළ හැකි බවත්, එසේ නොකිරීමෙන් පෙනී යන්නේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට වඩා සිරගතව තැබීමේ අභිලාෂයකින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කරන බවට තමන්ට හැඟෙන බවත් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා සහ පාගමන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම ඉල්ලීම සාධාරණ බවයි.

එසේම, සරත් ෆොන්සේකා සහ රන්ජන් රාමනායක වැනි පුද්ගලයන් නිදහසේ සිටියදී ඥාණසාර හිමියන් පමණක් සිරගතව සිටීම සාධාරණ නොවන බවද ඔහු කියාසිටියා.

මෙම ගැටලුව හේතුවෙන් සිංහල බෞද්ධ සමාජයේ බෙදීමක් ඇතිවෙමින් පවතින බවත්, ආණ්ඩුව කෙරෙහි විරෝධය සහ අසතුට වර්ධනය වෙමින් පවතින බවත් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.

එමෙන්ම, ආණ්ඩුවට හිතවත් පිරිස් යොදා ගනිමින් විරෝධතාවලට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග ගැනීම තුළින් බහුතර සමාජය දෙකඩ කර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇති බවද ඔහු පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ රටක් ඉදිරියට ගෙන යාමට සහ සංවර්ධනය කරා ගමන් කිරීමට නම් සමාජයේ සාමය සහ ජනතාවගේ විශ්වාසය අත්‍යවශ්‍ය බවත්, මෙවැනි ගැටුම්කාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය වුවහොත් ආණ්ඩුවට මෙන්ම රටටද ඉදිරියට යාම දුෂ්කර වනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: