hit counter

2026 නොවැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 06, පෙ.ව. 12:12



කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා රජය මඟින් බදු පදනම මත ලබා දී ඇති නමුත්, අදාළ අරමුණු වෙනුවෙන් භාවිතයට නොගෙන අක්‍රියව පවතින සියලුම ඉඩම් කඩිනමින් යළි රජයට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

එලෙස පවරා ගන්නා ඉඩම්, වගා කිරීමේ සැබෑ හැකියාව සහ උනන්දුව සහිත පාර්ශ්වයන් වෙත ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යළි ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

රාජ්‍ය ඉඩම් බදු පදනම මත ලබාගෙන වගා නොකර අත්හැර දමා සිටින පුද්ගලයන් 135 දෙනෙකු මේ වන විටත් නිල වශයෙන් හඳුනාගෙන ඇති අතර, අදාළ බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට සහ ඒවා ඵලදායී කෘෂිකාර්මික කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති සාරවත් ඉඩම් නිසි ප්‍රයෝජනයට නොගෙන දීර්ඝ කාලයක් මුඩුබිම් ලෙස පවත්වාගෙන යාම හේතුවෙන් රටේ සමස්ත නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට ඇති අවස්ථා අහිමි වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මෙවැනි ඉඩම් යළි සක්‍රිය කිරීම මඟින් ජාතික කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම මෙන්ම ග්‍රාමීය ජනතාවට නව ආදායම් මාර්ග උදාකර දීම රජයේ ප්‍රධානතම අපේක්ෂාව බව අවධාරණය කරයි.

“රජයේ කෘෂිකාර්මික ඉඩම්වල සැබෑ වටිනාකම ඇත්තේ ඒවා හුදෙක් බදු පදනම මත ලබාගෙන ළඟ තබාගෙන සිටීම තුළ නොව, රටේ නිෂ්පාදනයට සහ ජාතික ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම තුළයි” යනුවෙන් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: