hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 අගෝස්‍තු 15, ප.ව. 12:39



දෛනික විදුලි කප්පාදුව පැය 03ක පමණ කාලයක් විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නොරෝච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි ධාරිතාව අහිමි වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවන බවයි.

දැනට පැයයි විනාඩි 20ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

‍නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන කටයුතු මේ වනවිට බිඳ වැටී තිබෙනවා.

අද පෙරවරුවේ නොරොච්චෝලේ බලාගාරය හදිසි බිඳ වැටීමකට ලක් වීමත් සමග බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව තිබෙන බවත් දෝෂය හඳුනා ගැනීමට තාක්ෂණික කාර්ය මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර බලාගාරයේ දෙවන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත්, බලාගාරයේ තුන්වැනි ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම විදුලි සැපයුම කළමනාකරණය කිරීම සඳහා බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිතා කරමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා.