hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මාර්තු 07, ප.ව. 2:44



සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වැල්ලේ සුරංගගේ සහෝදරයා ඉලක්ක කරගෙන කොටහේන ඉබ්බගෙ වත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරී ඇතැයි කොටහේන පොලීසිය සඳහන් කරනවා.

කොටහේන රොක් හවුස් ප්‍රදේශයේ පදිංචි ගමගේ සනත් රුවන් නැමැති වැල්ලේ සුරංගගේ සහෝදරයා බිරිඳ සමග පහරදීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනී සිටීම සඳහා අලුත් කඩේ අංක හය අධිකරණ වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය පැවසුවා.

ඉබ්බගේ වත්ත හන්දිය ප්‍රදේශයේදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් වම් පසින් ත්‍රීරෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී 56 ගිනි අවිය එල්ල කිරීමත් සමඟම ත්‍රීරෝද රථ රියදුරු ත්‍රිරෝද රථය අත්හැර දමා පලා යාමත් සමගම එහි පිටුපස ගමන්ගත් වැල්ලේ සුරංග ගේ සහෝදරයා ද ත්‍රිරෝද රථයෙන් පිටතට පැන දිව යාමත් සමග වෙඩික්කරු අත දරා සිටි ටී 56 ගිනි අවියෙන් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

වෙඩි ප්‍රහාර එම ස්ථානයේ බිමට සහ තාප්පයකට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවැසුවා.

කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි ජේ ආර් එස් නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් පි ලිහිනිය කුල මහතා පරීක්ෂණ පවත්වයි.