hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 03, ප.ව. 2:06



මෙක්සිකෝවේ ඊයේ පැවති ජනාධිපතිවරණයේදී එරට පාලක මොරේනා පක්ෂයේ ක්ලෝඩියා ශයින්බවුම් ජයග්‍රහණය කර තිබෙනවා.

දැනට සම්පූර්ණ ඡන්ද ප්‍රමාණයෙන් අඩකට වඩා ගණන් කර ඇති අතර ශයින්බවුම් සියයට 60 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි පෙනීගොස් තිබෙනවා. ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ෂෝටිල් ගල්වේස්ට ලැබී ඇත්තේ සියයට තිහකට ආසන්න ප්‍රමාණයක්.

ගල්වේස්, ශයින්බවුම් අමතා ඇගේ ජයග්‍රහණය පිළිබඳ සුබපැතූ බව මෙක්සිකානු මාධ්‍ය නිවේදනය කළා.

මෙම ජනාධිපතිවරණයේදී කාන්තාවක ජයගන්නා බව කලින්ම පෙනීගොස් තිබුණා. එයට හේතු වූයේ ප්‍රධාන සන්ධාන දෙකම කාන්තාවන් සිය අපේක් ෂකයන් ලෙස තෝරාගැනීම නිසයි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් පසු මෙක්සිකෝව පළමු කාන්තා ජනාධිපති තෝරාගනු ලබනවා.

ශයින්බවුම් කලක් මෙක්සිකෝ සිටි නගර ආණ්ඩුවේ ප්‍රධානියාව සිටියා. එය ආණ්ඩුකාර පදවිය හා සමාන පදවියක් ලෙසයි සැලකෙන්නේ. ඇයගේ පක්ෂයේ නායක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රදෝර් හෙවත් අම්ලෝ, දැනට මෙක්සිකෝවේ ජනාධිපති ලෙස කටයුතු කරනවා. ඔහු ද එරට තුළ ඉතා ජනප්‍රියයි. කෙසේ වෙතත් මෙක්සිකෝවේ ජනාධිපතිවරයකුට වසර හයක එක් ධුර කාලයකට වඩා ධුරයෙහි සිටිය නොහැකි බැවින් ඔහු මෙවර තරග කරන්නේ නැහැ. නමුත් ශයින්බවුම් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු ද අම්ලෝගේ බලපෑම ඇගේ ආණ්ඩුව වෙත බලපවත්වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ඇය දිවුරුම් දීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 1 වනදා යි.

ශයින්බවුම් ආර්ථික වශයෙන් මධ්‍ය වාමාංශික අදහස් දරන​, සුබසාධනවාදී නායිකාවක්. ගල්වේස් ඊට වඩා ආර්ථිකය ලිබරල්කරණය කිරීමේ සටන් පාඨ මතයි සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ.

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කල්ලි සහ අපරාධ මැඩීම පිළිබඳව කරුණ ද මැතිවරණයේදී වැදගත් විවාදයක් වුණා. ජනාධිපතිවරණයට සමගාමීව එරට කොන්ග්‍රස් මණ්ඩලයේ මැතිවරණය මෙන්ම ප්‍රාන්ත මැතිවරණ සහ නගර සභා මැතිවරණ ද පවත්වනු ලැබුණා. මෙම මැතිවරණ සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිහකට වැඩි පිරිසක් මැතිවරණ ප්‍රචාරක සමය තුළ ඝාතනයට ලක්වූ බව ද වාර්තා වී තිබුණා. එය මෙක්සිකෝ ඉතිහාසයේ ඉතා ඉහළ අගයක් වනවා.

මෙක්සිකෝ කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද වැඩිම ආසන සංඛ්‍යාව මොරේනා පක්ෂයට ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් ආසන 500 න් 202 ක් දිනාගෙන තිබෙනවා. සෙනට් සභාවේ ද ආසන 128 න් 57 ක් එම පක්ෂයට ලැබී තිබෙනවා. කෙසේ වෙතත් පරිසරවාදී හරිත පක්ෂය සහ කම්කරු පක්ෂය යන පක්ෂ දෙකෙහි ද සහය මොරේනා පක්ෂයට ලැබෙන බැවින් මෙම මන්ත්‍රී මණ්ඩල දෙකේ ද බහුතරයක් පාලක ආණ්ඩුවට පවත්වාගත හැකිව තිබෙනවා.