hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 04, ප.ව. 7:57



2024 ඉන්දීය මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ඉතිහාසයේ පළමු වරට කේරළ ප්‍රාන්තයෙන් පාර්ලිමේන්තු ආසනයක් දිනාගැනීමට සමත්ව තිබෙනවා.

එම ජයග්‍රහණය වාර්තා කළේ මලයාලම් සිනමාවේ ප්‍රකට නළුවකු වන සුරේෂ් ගෝපි විසින්. ත්‍රිසූර් ආසනයට තරග වැදුන ඔහු ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයකු වන වී. එස්. සුනිල් කුමාර් සහ කොන්ග්‍රස් ප්‍රබලයකු වන කේ. මුරලිදරන් පරාජය කර ජයග්‍රහණය කළා.

සුරේෂ් ගෝපි 1958 දී උපන් අයකු වන අතර ජීව විද්‍යාවෙන් මූලික උපාධිය හදාරා ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ශ්‍රාස්ත්‍රවේදී උපාධියක් හැදෑරූ අයෙක්. ඔහු නළුවකු ලෙස මුලින්ම නමක් තැබූයේ 1992 තිරගත වූ තලස්ථානම් චිත්‍රපටයෙන්. ප්‍රධාන වශයෙන් මලයාලම් චිත්‍රපටවල රඟපෑ ඔහු දමිළ​, තෙළිඟු, කන්නඩ සහ හින්දි චිත්‍රපටවලට ද රංගනයෙන් දායක වී තිබෙනවා. සම්පූර්ණ වශයෙන් ඔහු රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 250 ක් පමණ වනවා. 1998 දී කලියත්තම් චිත්‍රපටය සඳහා හොඳම නළුවාට හිමි ජාතික චිත්‍රපට සම්මානයෙන් සහ කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබීම ඔහු ලැබූ ඉහළම ජයග්‍රහණයක්.

සුරේෂ් ගෝපි 2016 දී භාරතීය ජනතා පක්ෂයට එක්වූ අතර 2016 සිට 2022 දක්වා නම්කළ මන්ත්‍රීවරයකු ලෙස රාජ්‍ය සභාවේ සාමාජිකයකුව සිටියා. 2019 දී ද ත්‍රිසූර් ලෝක් සභා අසුන සඳහා ඔහු තරග කළත් එහිදී ඔහු පරාජයට පත්වුණා.

භාරතීය ජනතා පක්ෂය මෙවර මහමැතිවරණයේදී කේරළයෙන් ආසන තුනක පමණ ජයග්‍රහණ අපේක්ෂාවෙන් සිටියා. නමුත් ඔවුන්ට ජයගත හැකිව ඇත්තේ ත්‍රිසූර් පමණයි.