hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 18, ප.ව. 12:45



එළඹෙන ප්‍රංශ මහමැතිවරණයේදී ජාතික රැළිය පක්ෂය ජයගත්ත ද ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට ඉල්ලා අස්වන ලෙස බල නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායිකා මාරීන් ලෙ පෙන් පවසනවා.

ඇය පවසන්නේ මැක්‍රොන්ගේ කටයුතු ප්‍රංශයට බොහෝ අයහපත් වන නමුදු, ඔහුගේ ධුර කාලයට පෙර ඔහුව ඉවත් කිරීමට උත්සාහ කිරීම මගින් රට නැවත අස්ථාවර කිරීම තම අපේක්ෂාව නොවන බවයි.

ප්‍රංශයේ අස්ථාවර තත්ත්වය පහ කර එය ස්ථාවරත්වයට පත්කළ යුතු යයි මරීන් ලෙ පෙන් සඳහන් කරනවා. එහෙයින් තමා බලයට පත් වුවහොත් මැක්‍රොන් සමග සහයෝගීව ඉදිරි ජනාධිපතිවරණය තෙක් ආණ්ඩු කිරීමට බලාපොරොත්තු වන බව ඇය කියා සිටියා.

එමෙන්ම ප්‍රංශයේ යහපත බලාපොරොත්තු වන ඕනෑම අයකුට තම ආණ්ඩුවට එක්විය හැකි යයි ද ඇය සඳහන් කළා.

එළඹෙන ජූනි 30 සහ ජූලි 7 දිනයන් හි පැවැත්වෙන ප්‍රංශ මැතිවරණයේ පළමු වටයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ජාතික රැළිය විසින් ලබාගනු ඇතැයි සමීක්ෂණ වාර්තා ප්‍රකාශ කරනවා. එහෙත් දෙවන වටයේදී කුමක් සිදුවනු ඇතිදැයි නිශ්චිත අදහසක් එයින් ලබාගත නොහැකියි.